ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි තෙවන සමාලෝචනය සාර්ථකව නිමකිරීම සම්බන්ධයෙන් රජයට ලංකා වාණිජ මණ්ඩලයෙන් සුබපැතුම්

    March, 3, 2025

    අඛණ්ඩ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන්හි වැදගත්කම අවධාරණය කෙරේ

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (IMF) විස්තීරණ අරමුදල් පහසුකමෙහි (EFF) විධිවිධාන යටතේ තෙවැනි සමාලෝචනය සාර්ථකව නිම කිරීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය ශ්‍රී ලංකා රජයට තම සුබ පැතුම් එක්කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියත් සමගම ශ්‍රී ලංකාවට ලැබෙන මුල්‍යාධාරය රටෙහි ආර්ථික ප්‍රකෘතිය සඳහා අත්‍යවශ්‍ය සහයෝගයක් සපයනු ඇත.

    ලංකා වාණිජ මණ්ඩලය විසින් 2024 සැප්තැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත්කරන ලද, අභිනව රජය විසින් පළමු මාස ​​හය තුළ ක්‍රියාත්මක කලයුතු කරුණු දහයක සැලැස්මේ දක්වා ඇති ප්‍රධාන සාර්ව ආර්ථික ප්‍රමුඛතා දෙකක් සාක්ෂාත් කර ගැනීමට රජය සමත්වීම පිලිබඳ ලංකා වාණිජ මණ්ඩලය තම විශේෂ ප්‍රශංසාව එක්  කරයි. එම කරුණු දෙක වන්නේ,

    1. විදේශීය ණය ප්‍රතිව්යුහගතකරණය සම්පූර්ණ කිරීම.
    2. 2025 ජාතික අයවැයෙන් පිළිබිඹු වන පරිදි විශ්වසනීය මූල්‍ය ප්‍රතිපත්ති වෙනස්කම් ක්‍රියාත්මක කිරීම.

    ශ්‍රී ලංකාව සිය සිව් අවුරුදු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දෙවන භාගයට පිවිසෙන බැවින්, තිරසාර වර්ධනය සඳහා අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම රජය විසින් වේගවත් කිරීම ඉතා වැදගත් වේ. එම ප්‍රධාන ප්‍රමුඛතාවලට ඇතුළත් වන්නේ:

    • ජාතික තනි දොර වෙළෙඳ කවුළුව සහ නව රේගු පනත ඇතුළුව වෙළඳ කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සම්බන්ධ ප්‍රතිසංස්කරණ.
    • ඩිජිටල් හැඳුනුම්පත සහ ඩිජිටල් පොදු යටිතල පහසුකම් දියුණු කිරීම.
    • ආර්ථික පරිවර්තන පනත වැනි තීරණාත්මක නීති ක්‍රියාත්මක කිරීම.
    • ආයෝජන සහ ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම සඳහා පාලන ප්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීම.
    • වැඩිදියුණු කළ ආදායම් පරිපාලනය සහ ඩිජිටල්කරණය තුළින් මුල්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා බදු දැල පුළුල් කිරීම.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ඉදිරි සමාලෝචනයන් සාර්ථකව නිම කිරීම පමණක් නොව ශ්‍රී ලංකාව සඳහා පරිවර්තනීය ආර්ථික වර්ධන මාවතක් සහතික කරමින් මෙම ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ ඉදිරියට මෙහෙයවීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලංකා වාණිජ මණ්ඩලය නිරන්තරයෙන් කැපවී සිටී.

    - මෙය ලංකා වාණිජ මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයකි.