January, 29, 2026
යම් රටක සංචාරයකින් පසු හඳුනා ගන්නා ලද මූලික සොයා ගැනීම් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) කාර්ය මණ්ඩල කණ්ඩායම්වල ප්‍රකාශ එම දූත මෙහෙය අවසානයේ නිකුත් කරන මාධ්‍ය නිවේදනයන්හි ඇතුළත් වේ. මෙම ප්‍රකාශයේ අන්තර්ගත අදහස් ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩලයේ අදහස් වන අතර, එමගින් ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලයේ අදහස් අවශ්‍යයෙන්ම නියෝජනය නොවේ. මෙම දූත මෙහෙය ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩල සාකච්ඡාවට ලක් නොවේ.
එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වය යටතේ වූ ජා.මූ. අරමුදලේ දූතකණ්ඩායමක් 2026 වසරේ ජනවාරි 22 සිට 28 දින දක්වා කාලය තුළ කොළඹ සංචාරය කළ අතර, දිව්වා සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම සාකච්ඡා කිරීම එම සංචාරයේ අරමුණ විය. දූත මෙහෙවර අවසානයේ දී පපාජෝ(ර්)ජියෝ මහතා පහත ප්‍රකාශය නිකුත් කළේය.
'' දූත මෙහෙය අතරතුර දී සුළි කුණාටුව හේතුවෙන් යටිතල පහසුකම්වලට සිදු වූ හානිය සහ ජීවනෝපාය අහිමි වීම් ඇතුළුව මතු වූ ආර්ථික හා සමාජීය බලපෑම් පිළිබඳව අවබෝධය ලබා ගැනීම සඳහා නිලධාරී කණ්ඩායම, බලධාරීන් සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පැවැත්වූයේය. ස්වාභාවික ව්‍යසනය හමුවේ දැක් වූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිචාර මෙන්ම මුදල් ප්‍රතිපත්ති සහ මූල්‍ය අංශයේ ස්ථායිතාව මත ඇති වන බලපෑම් පිළිබඳව සාකච්ඡාවල දී අවධානය යොමු කරන ලදී. ඉදිරි කාලයේ දී බලධාරීන්ගේ ප්‍රතිපත්ති අභිප්‍රායයන්, ඔවුන්ගේ මූල්‍යන අවශ්‍යතා සහ ජා. මූ. අරමුදලට ශ්‍රී ලංකාවේ යථා තත්ත්වයට පත් වීමේ සහ නැවත ගොඩ නැගීමේ ප්‍රයත්න සඳහා විස්තීර්ණ ණය පහසුකම යටතේ උපරිම අයුරින් සහාය විය හැකි ආකාරය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන ලදී.
'' ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම ආරම්භ කරමින් සිටින මෙම අවස්ථාවේ දී, රාජ්‍ය මූල්‍ය සහ ණය තිරසරභාවය සම්බන්ධයෙන් ළඟා කරගත් ජයග්‍රහණ සුරක්ෂිත කර ගැනීම, ව්‍යාපෘති නැවත ප්‍රමුඛතාගත කිරීම සහ ක්‍රියාත්මක කිරීම ඇතුළුව රාජ්‍ය ආයෝජන කළමනාකරණය ශක්තිමත් කිරීම, සහ විනිවිද භාවයකින් හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුකූලව වියදම් සිදු කරන බව තහවුරු කිරීම සඳහා බලධාරීහු කැපවී සිටිති. සුළි කුණාටුවෙන් වඩාත් ම බලපෑමට ලක් වූ දුගී සහ අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණ ජාල තවදුරටත් ශක්තිමත් කිරීමේ අදිටනින් ඔවුහු කටයුතු කරති.
'' විස්තීර්ණ ණය පහසුකම යටතේ වන මීළඟ සමාලෝචනයට අදාළ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට ජා.මූ. අරමුදලේ දූත මෙහෙයක් හැකි ඉක්මනින් යෙදවීමට අපි සැලසුම් කරන්නෙමු. සාර්ව ආර්ථික ස්ථායිතාව ආරක්ෂා කිරීමට සහ ඔරොත්තු දීමේ හැකියාව හා තිරසර වර්ධනය ප්‍රර්වධනය කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්හි දී රටට සහාය දැක්වීමට, ශ්‍රී ලංකාව සමඟ පවත්නා සහයෝගීතාව සහ සූදානම අපි නැවත තහවුරු කරන්නෙමු.
" ජා.මූ. අරමුදලේ කණ්ඩායම අතිගරු ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා, ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්‌ය පී. නන්දලාල් වීරසිංහ මහතා, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය භාෂණ සූරියප්පෙරුම මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා සහ අනෙකුත් රජයේ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීය. මෙම දූත මණ්ඩලය පෞද්ගලික අංශයේ නියෝජිතයන්, සිවිල් සමාජ සංවිධාන සහ සංවර්ධන පාර්ශ්වකරුවන් සමඟ ද සාකච්ඡා පැවැත්වීය. දූත මෙහෙය අතරතුර ලබා දුන් විශිෂ්ට සහයෝගීතාව සම්බන්ධයෙන් බලධාරීන්ට ස්තූතිවන්ත වෙමු."
Video Story