ජාතික අපනයන දිශානතිය පිළිබඳ ඉහළ පෙළේ විධායක නිලධාරීන් දැනුවත් කෙරේ

    March, 9, 2026

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ජාතික අපනයන දිශානතිය පිළිබඳව මෙරට ප්‍රමුඛතම පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් දැනුවත් කිරීම සඳහා "ජාතික අපනයන දිශානතිය පිළිබද  ප්‍රධාන විධායක නිලධාරීන්ගේ හමුව" (National Export Roadmap - The CEO Forum) නමින් සුවිශේෂී සමුළුවක් පසුගියදා පවත්වන ලදී.මෙම හමුව රජයේ සහ පෞද්ගලික අංශයේ ප්‍රධානීන් අතර අනාගත අපනයන දැක්ම පිළිබඳ සාකච්ඡා කිරීමට වැදගත් වේදිකාවක් සලසා දුන්නේය.

    සමුළුවේ අරමුණ සහ ජාතික අපනයන දිශානතිය පිළිබඳ හැඳින්වීම අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා විසින් සිදු කළ අතර අපනයන ක්ෂේත්‍රය නගාසිටුවීම සඳහා සකස් කර ඇති ජාතික අපනයන සැලැස්මෙහි අඩංගු උපායමාර්ගික අරමුණු සහ රාමුව පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් ද සිදු කළේය.

    අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපතිවරයා ශ්‍රී ලංකාවේ අපනයන විභවය පිළිබඳව සිය සුබවාදී විශ්වාසය පළ කළ අතර 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය සපුරා ගැනීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ කරමින් ඔවුන්ට ගෝලීය වශයෙන් ජයග්‍රහණය කිරීමට නව අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කම ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර  හනීෆ් යූසූෆ් මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඉහළ විධායක නිලධාරීන් රැසක් මෙම සමුළුව සඳහා එක්ව සිටියහ.

    මෙහිදී ජාතික අපනයන පද්ධතිය පරිවර්තනය කිරීම සඳහා "සමස්ත රාජ්‍ය  සේවයේම ප්‍රවේශයක්" (whole-of-government approach) අත්‍යවශ්‍ය බව අවධාරණය කළ අතර අපනයන අංශයේ සහ සමස්ත ආර්ථිකයේ තිරසාර වර්ධනයක් ඇති කිරීම සඳහා ශක්තිමත් ආයතනික හවුල්කාරිත්වයන් සහ සම්බන්ධීකරණය අතිශය තීරණාත්මක බව වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

    මෙම අවස්ථාවට අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් එරන්දික දිසානායක මහතා සහ වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) කුමුදුනී මුදලිගේ මහත්මිය , වෙළද පහසුකම් හා වෙළද තොරතුරු අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය. සංජීව රත්නසේකර ඇතුළු අධ්‍යක්ෂවරුන් සහ නිලධාරීන් රැසක් සහභාගී වූහ.