ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේදී දේශීය කර්මාන්ත මුල්කරගත් ප‍්‍රතිපත්තියක් තුළ කටයුතු කිරීම අත්‍යාවශ්‍යයි – ජනපති

    February, 2, 2018

    රටක් සංවර්ධනය කරා ගෙනයාමට නම් එම රට තුළ තිබෙන සම්පත් නිසි කළමනාකරණයකට ලක්කිරීම සහ එම සම්පත් උපයෝගීකරගත් ආයෝජන සිදුකිරීම ඉතා වැදගත් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව පෙන්වා දුන්නේ “පාවහන් සහ සම්භාණ්ඩ ප‍්‍රදර්ශනය – 2018” අද (02) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී විවෘත කරමිනි.

    විදේශීය ආයෝජන රටට අවශ්‍යයි සේම ඒ සියල්ල ලබාගත යුත්තේ අපගේ දේශීය කර්මාන්ත ආරක්ෂා වන අයුරින් බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා යම් විදේශීය ආයෝජනයක් තුළින් දේශීය කර්මාන්තවලට බලපෑමක් එල්ලවන්නේ නම් සහ එම කර්මාන්ත දුර්වල කරන්නේ නම් තමන් ඊට ඉඩ නොතබන බව ද අවධාරණය කළේය.

    පසුගිය දශක දෙකකට ආසන්න කාලය තුළ මෙරට දේශීය කර්මාන්ත සඳහා ලබාදී ඇති ප‍්‍රමුඛතාවය පිළිබඳ කිසිසේත් සතුටුවිය නොහැකි බව මෙහිදී පැවසූ ජනධිපතිතුමා අපගේ අපනයන වෙළෙඳපොළ තුළ ද පසුගිය වසර 15ක 20ක කාලය තුළ සතුටුවිය හැකි තත්ත්වයක් නිර්මාණය නොවූයේ එබැවින් බව ද කියා සිටියේය.

    රටක පවතින ආර්ථික අපහසුතා සහ දිළිඳුභාවයට විසඳුම් සෙවීමේදී සියලු දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා දේශීය කර්මාන්තවල නියුතු සියලුදෙනා දිරිගැන්වීමට, සම්පත් ලබාදීමට සහ සහන ලබාදීමට කටයුතු කරන අතර කර්මාන්ත පවත්වාගෙන යාමේදී ඔවුන් මුහුණ දෙන සියලු ගැටලු වෙනුවෙන් රජය ප‍්‍රතිපත්තිමය වශයෙන්ම මැදිහත්වන බව ද කියා සිටියේය.

    ශී‍්‍ර ලාංකික පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්තය ජාතික හා අන්තර්ජාතික වශයෙන් ප‍්‍රචලිත කිරීමේ සහ අපනයන හැකියාවන් ඇති නිර්මාණශීලී දක්ෂ නිපැයුම්කරුවන් හඳුනාගනිමින් ඔවුන් අපනයනය කරා යොමු කිරීමේ අරමුණින් පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය, කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධව මෙම ප‍්‍රදර්ශනය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

    10 වෙනි වරටත් සංවිධානය කළ මෙවර ප‍්‍රදර්ශනය සඳහා දිවයිනේ සියලුම ප‍්‍රමුඛ පෙළේ පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන් සහභාගී වී සිටින අතර, ප‍්‍රදර්ශන කුටි 230 කින් සමන්විත මෙවර ප‍්‍රදර්ශනයේදී නවීන විලාසිතාවලට සරිලන පරිදි නිෂ්පාදනය කරන ලද අපනයන තත්ත්වයේ පාවහන් හා සම්භාණ්ඩ ජනතාවට පහසු මිලට ලබාගැනීමට අවස්ථාව සලසා ඇත.

    මීට අමතරව මෙවර ප‍්‍රදර්ශනයට ඉන්දියානු, පකිස්තානු සහ චීන, අමුද්‍රව්‍ය යන්ත්‍රෝපකරණ හා උපාංග සැපයුම්කරුවන් රැසක් සහභාගී වී සිටින අතර දේශීය සම්භාණ්ඩ නිෂ්පාදකයන්ට අවශ්‍ය වන අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ, උපාංග සහ නව තාක්ෂණික මෙවලම් ද මෙහිදී පහසු මිලට ලබා ගත හැකිවනු ඇත.

    අද සිට 04 වනදා දක්වා පැවැත්වෙන ප‍්‍රදර්ශනය පෙ.ව 10.00 සිට ප.ව 9.00 දක්වා මහජනතාවට විවෘතය.

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්, රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක, ශී‍්‍ර ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති පී. ජී. නිමලසිරි, ප‍්‍රදර්ශන කමිටුවේ සභාපති රංජිත් හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ප‍්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.

    ”පාවහන් සහ සම්භාණ්ඩ ප‍්‍රදර්ශනය – 2018” විවෘත කරමින් ජනාධිපතිතුමා කළ කතාව
    2018-02-02 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී

    මේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා ප‍්‍රථමයෙන් සතුටට පත්වෙනවා.
    අපි අපේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේදී දේශීය කර්මාන්ත මුල්කරගත් ප‍්‍රතිපත්තියක සිටීම අත්‍යවශ්‍යයි කියන මතයකයි මම ඉන්නේ. රටක් දියුණු වෙන්න රටේ සම්පත් නිසි කළමනාකරණයත් ඒ සම්පත් මුල් කරගත් ආයෝජනත් ඉතාමත් වැදගත් වෙනවා. රටක ආර්ථික අමාරුකම්, දුගීභාවය විසඳීම සඳහා අවශ්‍ය වන්නේ සියලු නිෂ්පාදන අංශ ශක්තිමත් කිරීමයි.
    පාවහන් සහ සම්භාණ්ඩ පමණක් නොවෙයි, දේශීය නිෂ්පාදනයන් පිළිබඳව අපි වසර 15ක 20 ක සිට සිටින්නේ සතුටුදායක ස්ථානයක නොවේ. බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම ආර්ථික සංවර්ධන වැඩසටහන් තුළ ජාතික ආර්ථික සැලසුම් තුළ යම් යම් ක්ෂේත‍්‍ර සඳහා ප‍්‍රමුඛතාවයක් දෙනවා. නමුත් පසුගිය දශක දෙකක තුනක කාලය තුළ දේශීය කර්මාන්ත සඳහා දී ඇති ප‍්‍රමුඛත්වය සතුටු විය නොහැකියි. හිතට එකඟව එය පිළිගත යුතුයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලයේත් බණ්ඩාරනායක මැතිතුමාගේ කාලයේත් දේශීය කර්මාන්ත, දේශීය නිෂ්පාදනවල පිබිදීමක් සිදුවුණා. ආර්ථිකය පමණක් නොව සියලු අංශ වඩාත් වර්ධනය වුණා, ඒ යුගවලදී.
    අපි පැවැත්විය යුතු ජාත්‍යන්තර සම්බන්ධතා, ලබාගත යුතු සහයෝගිතා ඉතාමත් වැදගත් වෙනවා. ඒ සම්බන්ධතා පවත්වාගෙන යාමේදී ප‍්‍රමුඛ විය යුත්තේ දැනුම වර්ධනය කර ගැනීම හා අවශ්‍ය සම්පත් වර්ධනය කර ගැනීමයි. විශේෂයෙන් අපට තියෙන දේ රැකගැනීමත් තිබෙන දේට වැඩි වටිනාකමක් දීමත් ඉතාමත් අවශ්‍යයි. එහෙම නොවී පිටස්තර දේට වටිනාකම් දීම හෝ වැඩි ඇගයීමක් කිරීම දියුණුවන රටකට සුදුසු දෙයක් නොවේ. මම පසුගිය දිනක ප‍්‍රකාශයක් කළා ජාතික ආර්ථික සභාව හරහා රජයේ ආර්ථික කළමනාකරණයට මම යම්කිසි බලපෑමක් කරනවා ඇතුල්වීමක් වෙනවා කියලා. ඒ පිළිබඳව යම් යම් නොසන්සුන්තාවයන් ඇතිවුණා. නමුත් මම පැහැදිලිව කියන්නට ඕනෑ මම කිව්වේ මෙන්න මේවට අතගහනවා කියලායි. ඒ මොකද මේවට අතගහන්නේ නැතිව රටක් දියණු වෙන්නේ නැහැ. විදේශීය දැනුම අවශ්‍යයි, විදේශීය සම්පත් අවශ්‍යයි. ඒ සියල්ල අපි ලබාගත යුත්තේ අපේ දේවල් ආරක්ෂා කරගෙන වගේම අපේ දේවල්වලට වැඩි වටිනාකමක් දීම තුළයි.
    ජාත්‍යන්තර වෙළෙඳපොළේ අපේ අපනයන ආදායම කොතනද තියෙන්නේ කියලා ඔබ දන්නවා. අපි ඉතාම අඩු තැනක ඉන්නේ සියයට එකයි දශම ගණනක ඉන්නේ. ඒ තත්ත්වය අපි වර්ධනය කරගත යුතුයි. දියුණු රටවල විදේශ වෙළෙඳපොළ වඩාත් ශක්තිමත්. අපේ වැනි රටවලට පැමිණෙන විදේශීය ආයෝජන තුළින් දේශීය කර්මාන්තවලට පහරක් එල්ලවනවා නම්, දුර්වල වීමක් සිදුවනවා නම් මම ප‍්‍රතිපත්තියක් ලෙස විශේෂයෙන්ම ඒවාට එකඟ වෙන්නේ නැහැ. එකඟ නොවනවා පමණක් නොව මා ඒවාට විරුද්ධයි කියන එක පැහැදිලිව කියන්නට ඕනෑ.

    ඔබේ සංවිධායක මණ්ඩලයේ සභාපතිතුමා කිවූ කාරණයත් අපි ආර්ථික සභාවේදී සාකච්ඡුා කළා. එහිදී එදත් මම ආයෝජන මණ්ඩලයට කිව්වා ඒ කීයු කාරණය පිළිබඳව අපට ඇවිත් තිබෙන ආයෝජකයෙකුගේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව අපේ කර්මාන්තවලට ප‍්‍රශ්නයක් වන විදියට ඒ ආයෝජනවලට ඉඩදිය යුතු නැහැ කියන එක. අපි ගිවිසුම් අත්සන් කිරීමේදී එකඟතාවයන් ඇතිකර ගැනීමේදී බොහොම පැහැදිලිව ඒ තත්ත්වය තේරුම්ගත යුතු වෙනවා. පිටින් පැමිණි සමාගමක් තමාගේ නිෂ්පාදන මේ රට තුළ වෙළෙඳපොලට නිකුත් කිරීමේදී දේශීය වෙළෙඳපොළට, දේශීය කර්මාන්තවලට බලපෑමක් ඇතිවෙනවා නම්, පාඩුවක් ඇති වෙනවා නම්, කඩාවැටීමක් වෙනවා නම් ඒ තුළ ප‍්‍රශ්නයක් තිබෙනවා. බොහෝ වෙලාවට අපි අන්තර්ජාලය හරහා බලලා ලෝකයේ සංවර්ධන වූ රටවල්වලට ළඟාවෙන්න හදනවා. එය පැය කිහිපයකින් හෝ දින කිහිපයකින් ළඟා කරගත හැකි දෙයක් නෙවෙයි. ඒ තත්ත්වයට අපි එන්නට අපේ දෙයට අපි වටිනාකමක් දිය යුතුයි.

    දේශීය කර්මාන්තකරුවන් ලෙස ඔබට යම් ප‍්‍රශ්නයක් තිබේනම් එය නිරාකරණය කිරීම සඳහා පැහැදිලිවම ප‍්‍රතිපත්තිමය වශයෙන් මම මැදිහත් වන බව මා මෙහිදී සඳහන් කිරීමට කැමතියි. රාජ්‍ය ප‍්‍රතිපත්තිය තුළ ඔබව දිරිගැන්වීමට, ඔබට අවශ්‍ය සම්පත් දීමට, බදු සහන ලබාදීමට, සුදුසු පරිසරයක් ඇති කිරීමට කාර්මික, කෘෂිකාර්මික ආදී සියලු අංශවලදී ඒ ප‍්‍රතිපත්තියේ අපි පිහිටා කටයුතු කරනවා.

    අපි සැමවිටම අපේ දේට වැඩි වටිනාකමක් දෙමින් අපේ දේ රැකගනිමින් මේ තරගකාරී ලොක්ය තුළ ඉදිරියට යන්නට දරන සාමූහික ප‍්‍රයත්නය වර්ධනය කර ගනිමුයි ඉල්ලා සිටිමින් ඔබෙන් සමුගන්නවා.
    ස්තූතියි.