ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව පත්කිරීමට කැබිනට් අනුමැතිය

    March, 18, 2025

    ආසියානු කලාපය තුළ තරඟකාරී වෙළෙඳපොළක් බිහි කිරීම සඳහා සහ ආයෝජන ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමේ අරමුණින් විනිවිදභාවයකින් යුත් සහ දරා ගත හැකි බදු ක්‍රමයක් ඉලක්ක කර ගනිමින් ජාතික තීරුබදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීම සහ ක්‍රියාත්මක කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

    එහෙත්, එම කාර්යය සඳහා ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුවක් පත් කිරීම හෝ එම කමිටුවේ කාර්යභාරය නිර්ණය කිරීම සිදු කර නොමැත.

    ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව සඳහා වන යෝජිත කාර්යය නිර්ණේය අනුදේශ (Terms of Reference) මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් සකස් කරනු ලැබ ඇත.

    ඒ අනුව, එකී කාර්යය නිර්ණේය අනුදේශ සඳහාත් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව පත් කිරීම සඳහාත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.