ජාතික සංවර්ධන ප්‍රමුඛතා ව්‍යාපෘති සඳහා ලබන අයවැයෙන් උපරිම ප්‍රතිපාදන වෙන් කරන බව මුදල් ඇමති කියයි

    September, 6, 2016

    ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතා නිවැරැදිව හඳුනාගෙන එයට සරිලන පරිදි ලබන වසරේ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශ වලින් ඉදිරිපත් කරනු ලබන යෝජනා සඳහා අවශ්‍ය තරම් උපරිම ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    2016 වසරේ විසර්ජන පනත මඟින් හදුන්වාදෙන ලද ශූන්‍ය පාදක අයවැය යටතේ සියලු රාජ්‍ය ආයතන තම ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන ලදී. ඒ අනුව අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන වෙතින් ලබන වසරේ ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන ක්‍රියාකාරී සැලසුම් ජාතික සංවර්ධන ප්‍රමුඛතාවය සමඟ සැසදේ නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අඩුවකින් තොරව ලබාදෙන ලෙස මුදල් අමාත්‍යවරයා විසින් උපදෙස් දී ඇතැයි මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා කීය.

    එහෙත් රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවේ පූර්ණ අධීක්ෂණයට යටත් වන හෙයින් රාජ්‍ය ආයතන විසින් කරනු ලබන සියලු වියදම් මෙන්ම එම ආයතන සතුව පවත්නා විවිධ අරමුදල් උපයෝගී කරගෙන සිදුකරනු ලබන සියලු පිරිවැය ද මහා භාණ්ඩාගාරය විසින් අධීක්ෂණය කිරීම අනිවාර්ය වේ.

    ඒ අනුව සියලු රාජ්‍ය වියදම් විගණනයට භාජනය කර පාර්ලිමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදුකිරීම තහවුරු කරනු වස්, විවිධ රාජ්‍ය ආයතන සතු අරමුදල් හි විස්තර මහා භාණ්ඩාගාරය වෙත දැනුම්දීම මූල්‍ය පාලන විධි විධාන යටතේ සිදු කළ යුතුව ඇත.රජයේ විවිධ ආයතන, එම ආයතන පිහිටුවීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා අදාළ පනත් හෝ විධි විධාන යටතේ විවිධ අරමුදල් පිහිටුවා තිබේ. මෙම අරමුදල්වලින් කරනු ලබන වියදම් පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට නිසි ලෙස මෙතෙක් නතුවී නොමැති බැවින් එවැනි අරමුදල් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයක් වර්තමානයේ පැන නැගී ඇත.

    එහෙයින් විවිධ රාජ්‍ය ආයතන මඟින් පවත්වාගෙන යනු ලබන විවිධ අරමුදල් හි තිබෙන මුදල් පිළිබඳ විස්තර මහා භාණ්ඩාගාරයේ ගිණුමට බැර කිරීමෙන් පසුව, අදාළ ආයතන වෙතම එහි මුදල් නැවත හර කිරීමෙන් අනතුරුව එහි වියදම් කිරීමේ වගකීම අරමුදල සතු ආයතනය වෙතම පැවරේ. එහෙත් එම අරමුදල් මහා භාණ්ඩාගාරයේ බැර කිරීමට ලක්වන හෙයින් එවන් අරමුදල් හි වියදම් විගණකාධිපතිවරයාගේ මෙන්ම පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට ද ලක්කිරීමට ඉඩ සැලසෙන බව මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා පැවසීය.