ජියෝසයිකල් ආයතනය කැලි කසළ කළමනාකරණය මගින් ජීව වායුව උත්පාදනය කිරීමට දායක වේ

    February, 9, 2016

    හොල්සිම් (ලංකා) සමාගමට අනුබද්ධ ජියෝසයිකල් ආයතනය ඝණ අපද්‍රව්‍ය නිසිපරිදි කළමනාකරණය කරන මෙරට එකම ආයතනයයි. කෘත‍්‍රිම සංයෝග අන්තර්ගත උපද්‍රව සහිත කැලි කසළ පරිසරයට හානි නොවන පරිදි නිසිලෙස බැහැර කිරීම ජියෝසයිකල් ආයතනය මගින් සිදුකරන ඝණ අපද්‍රව්‍ය කළමනාකරණයේ විශේෂත්වය වී ඇත. උපද්‍රව සහිත කැලි කසළ සුරක්ෂිතව හා ආරක්ෂිතව කළමනාකරණය කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයක් ජියෝසයිකල් ආයතනය මගින් පසුගියදා සංවිධානය කර තිබුණි.

    මෙරට තුළ දැවැන්ත පාරිසරික තර්ජනයක් බවට පත්වෙමින් තිබෙන උපද්‍රව සහිත කැලි කසළ නිසිලෙස කළමනාකරණය කිරීම මෙම සම්මන්ත‍්‍රණයේදී විශේෂයෙන් අවධානයට ලක්විය. දෙස් විදෙස් විශේෂඥයෝ ගණනාවක් මෙම සම්මන්ත‍්‍රණයට දායකවූ අතර උපද්‍රව සහිත කැලි කසළ සුරක්ෂිතව හා ආරක්ෂිතව බැහැර කරන ආකාරය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

    මෙම සම්මන්ත‍්‍රණයට ලෆාජ්හොල්සිම් සමූහයට අනුබද්ධිත ජියෝසයිකල් ආයතනයේ ප‍්‍රධාන උපදේශක, හාන්ස්-අල්රිච් නෙම් මහතා සහභාගී වූවේය. විකල්ප ඉන්ධන හා ද්විතික අමුද්‍රව්‍ය යොදාගනිමින් උපද්‍රව සහිත කැලි කසළ කළමනාකරණය පිළිබඳ ක්ෂේත‍්‍රයේ බොහෝ අත්දැකීම් ඔහු සතුය. උපද්‍රව සහිත කැලි කසළ යොදාගනිමින් ජීව වායුව නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳ දීර්ඝ විස්තරයක් හාන්ස්-අල්රිච් නෙම් මහතා මෙම සම්මන්ත‍්‍රණයේදී ඉදිරිපත් කළේය.

    කැලි කසළ, ප‍්‍රාථමික ගණයේ උපද්‍රව සහිත කැලි කසළ ආදිය ජීව වායු උත්පාදනයට යොදාගනියි. සිමෙන්ති නිෂ්පාදනය අතරතුරදී උපද්‍රව සහිත කාබනික කැලි කසළ සම්පූර්ණයෙන්ම විනාශ කරන අතර එම අළු අමුද්‍රව්‍ය ලෙස භාවිත කිරීම සිදුකරයි.

    ‘‘උපද්‍රව සහිත කැලි කසළ කළමනාකරණය පිළිබඳ මනා අවබෝධයක් මෙරට ජනතාව අතර පවතින නිසා උපද්‍රව සහිත කසළ කළමනාකරණයේදී ශ‍්‍රී ලංකාව ඉදිරියෙන් සිටිනවා’’ උපද්‍රව සහිත කැලි කසළ මෙරට තුළ කළමනාකරණය කරන අයුරු පිළිබඳ විස්තර කළ නෙම් මහතා පැවසුවේය.

    ‘‘පුද්ගලයින්ගේ එදිනෙදා කටයුතු වලදී පරිසරයට කැලි කසළ රාශියක් එකතුවෙනවා. ඔවුන් බැහැරකරන කසළ එක්වී දින කිහිපයක් ගතවී කුණු වී යනතෙක් ඔවුන් ඒ කසළ නිසිලෙස වර්ගකිරීමට පෙළඹෙන්නේ නැහැ. බොහෝ අවස්ථාවලදී කැලි කසළ වෙන්කර ආරක්ෂිතව විනාශ කරදැමීමට මෙන්ම තවත් කොටසක් ඉන්ධන උත්පාදනය කිරීමට වෙන් කිරීමට ද අපට සිදුවෙනවා.’’ කැලි කසළ යොදාගනිමින් ජීව වායුව උත්පාදනය කිරීමේදී ඇතිවන ගැටළු පෙන්වාදුන් නෙම් මහතා පැවසුවේය.

    උපද්‍රව සහිත කැලි කසළ සම්පූර්ණයෙන් විනාශ කරමින් මනා පාරිසරික විසඳුම් ලබාදීමට ජියෝසයිකල් ආයතනය දක්වන දායකත්වය පිළිබඳව ද නෙම් මහතා විස්තර කළේය. සිමෙන්ති නිෂ්පාදනය අතරතුරදී උපද්‍රව සහිත කැලි කසළ විනාශ කිරීම සිදුවන ආකාරය ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. නිසි තාක්ෂණික නිර්දේශ යොදාගැනීම, ශ‍්‍රමිකයින් පුහුණු කිරීම හා නිසි පාලනය මගින් සිමෙන්ති කර්මාන්ත ශාලාව තුළදී උපද්‍රව සහිත කැලි කසළ විනාශ කිරීම පිළිබඳවද නෙම් මහතා පැවසුවේය.

    සිමෙන්ති නිෂ්පාදනය කිරීමේ තිරසාර ක‍්‍රියාවලිය සමග කසළ කළමනාකරණ කටයුතු ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය ද ඔහු පෙන්වා දුන්නේය. ජීව වායු උත්පාදනය කිරීම කැලි කසළ ප‍්‍රශ්නයට විසඳුමක් මෙන්ම කර්මාන්ත කටයුතු වලින් පරිසරයට එක්වන කාබන් ප‍්‍රමාණය අවම කිරීමට විසඳුමක් වන බව නෙම් මහතාගේ අදහසයි.

    සාම්ප‍්‍රදායික ආකාරයට සිදුකරන කසළ කළමනාකරණයට විකල්පයක් ලෙස ඉදිරිපත් වන කසළ යොදාගනිමින් සිදුකරන ජීව වායු උත්පාදනය පරිසරයට හිතකර කසළ කළමනාකරණ විසඳුමක් මෙන්ම ආර්ථික ද අතින් වාසි සහගත කටයුත්තකි. සිමෙන්ති කම්හල තුළදී උපද්‍රව සහිත කැලි කසළ යොදාගනිමින් ජීව වායු නිෂ්පාදනය කිරීමේදී සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය උපකරණ වලින් උත්පාදනය වන තාපය යොදාගනිමින් උපද්‍රව සහිත කසළ විනාශ කිරීම සිදුවෙයි.

    කසළ කළමනාකරණයට තිරසාර විසඳුමක් ලෙස ඉදිරිපත් වන ජීව වායු උත්පාදනය මගින් හිමිවන ප‍්‍රතිලාභ කිහිපයකි. කැලි කසළ ගොඩවල් එකතුවී භූමිය නිසරුවීමක් සිදුනොවන අතර පරිසරයට එක්වන හරිත වායු ප‍්‍රතිශතය ද අඩුවෙයි. එමෙන්ම, පොසිල ඉන්ධන හා ස්වභාවික සම්පත් ද මෙමගින් ආරක්ෂා වෙයි.

    ‘‘උපද්‍රව සහිත කැලි කසළ නිසිලෙස බැහැර කරන රටක් ලෙස ශ‍්‍රී ලංකාව නම් කල හැකියි. මෙහිදී උපද්‍රව සහිත කැලි කසළ, සිමෙන්ති නිෂ්පාදනය කරන පෝරණු තුළදී ආරක්ෂිතව විනාශ කිරීම සිදුකරනවා. සිමෙන්ති නිෂ්පාදනය ක‍්‍රියාවලියේ පවතින සුවිශේෂීත්වය ලෙස මෙය නම් කළ හැකියි. මේ අතරතර එක්වන අපද්‍රව්‍ය පාලනය කරන අයුරු ද විශේෂයි. අති සරළ, ක‍්‍රමවත් හා ආරක්ෂිත අයුරින් අපද්‍රව්‍ය බැහැර කිරීම සිදුකරනවා.’’ ජියෝසයිකල් ආයතනය මගින් සිදුකරන කැලි කසළ බැහැර කිරීම පිළිබඳ පැහැදිලි කළ නෙම් මහතා පැවසුවේය.

    ‘‘උපද්‍රව සහිත කැලි කසළ බැහැර කිරීමේදී අනුගමනය කළහැකි ක‍්‍රම කිහිපයක් තිබෙනවා. උපද්‍රව සහිත කැලි කසළ නිසිලෙස බැහැර කළා යැයි පමණක් පවසා අපට සෑහීමට පත්විය නොහැකියි. උපද්‍රව සහිත කැලි කසළ බැහැර කිරීමේ ක‍්‍රියාවලිය අඛණ්ඩව සිදුකළ යුතුයි.’’ සිය සංචාරය අතරතුරදී මෙරට තුළ උපද්‍රව සහිත කැලි කසළ බැහැර කරන ආකාරය නිරීක්ෂණය කළ නෙම් මහතා පැවසුවේය.

    ‘‘හොල්සිම් (ලංකා) සමාගම සිදුකරන කසළ කළමනාකරණ කාර්යය සුවිශේෂයි. මෙහිදී මටත් අලූත් දේවල් ඉගෙනගැනීමට හැකිවුණා’’ මෙරට කැලි කසළ කළමනාකරණ ප‍්‍රමිතීන් වැඩිදියුණු කිරීමට හොල්සිම් (ලංකා) සමාගම දක්වන දායකත්වය අගයමින් හාන්ස්-අල්රිච් නෙම් මහතා අවසන් වශයෙන් පැවසුවේය.

    සේයා රූ සටහන - ජියෝසයිකල් ආයතනයේ ප‍්‍රධාන උපදේශක, හාන්ස්-අල්රිච් නෙම් මහතා