June, 10, 2016
මෙරට උතුරු-නැගෙනහිර පළාත්වල ජනතාව යළි පිබිදීම සඳහා දරන අප්‍රතිහත ධෛර්යය නිරූපණය කරන "ජීවිතයට වෙනසක්" ඡායාරූප සහ කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය පාර්ක් ස්ට්‍රීට් මිව්ස් හිදී පසුගියදා පැවැත්වුණි.
ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ජුනි මස 8 වනදා ප.ව. 6.00 ට ආරම්භ විය. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත මණ්ඩලයේ වැඩ බලන ප්‍රධානී විලෙම් වර්පොයිස්ට්, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත මණ්ඩලයේ සහයෝගීතා ප්‍රධානී ලිබුසේ සුකුපෝවා, යුරෝපා කොමිසමේ ග්‍රාමීය සංවර්ධන, ආහාර සුරක්ෂිතතා සහ පෝෂණ වැඩසටහන් කළමනාකාරිනී ලෝරා ගුවල්ඩි, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක ඇලේන් සිබනේලර් සහ ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාවේ (IFC) ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකාර අමෙනා අරීෆ් ඇතුළු මහත්ම මහත්මීහු රැසක් සමාරම්භක උළෙල සඳහා සහභාගී වූහ.
වසර ගණනක පටන් ශ්‍රී ලාංකේය ජනතාව සහ දිස්ත්‍රික් මට්ටමේ රාජ්‍ය ආයතන, යුරෝපා සංගමය (EU), එක්සත් ජාතීන්ගේ සංවිධාන සහ ලෝක බැංකු සමූහයේ සාමාජික ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව අතර ගොඩනැගුනු සවිමත් සබඳතාව මෙම තුන්දින ප්‍රදර්ශනය මගින් නිරූපණය කෙරුණි. මඩකළපුව, අම්පාර, වවුනියාව, අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවලදී ලබා ගත් ඡායාරූප සහ දර්ශන යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) එම දිස්ත්‍රික්කවල ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා දක්වා ඇති නියත හා තිරසාර දායකත්වය කියා පායි.
"ලේඛා එදිරිසිංහ විසින් ඡායාරූපගත කරන ලද ඡායාරූප සහ රංග ජාගොඩ විසින් නිෂ්පාදනය කරන ලද කෙටි වාර්තා චිත්‍රපට හත මගින්, යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාව සවිබල ගැන්වීම වෙනුවෙන් ක්‍රියාවට නංවන ලද වැඩසටහන් පිළිබිඹු කරනවා.
සිය අනාගතය සාරවත් කර ගැනීම සඳහා ප්‍රජාව සවිබල ගැන්වීම වෙනුවෙන් EU-SDDP වැඩසටහන සුවිශේෂී කාර්යභාරයක් ඉටුකර තිබෙනවා." යුරෝපා සංගමයේ සහයෝගීතා ප්‍රධානී ලිබුසේ සුකුපෝවා මෙනවිය සඳහන් කළාය.
මිලියන භාගයක පමණ ජනතාවක් ජීවත්වන මෙරට යුද්ධයට මැදි වූ සහ මායිම් වූ උතුරු හා නැගෙනහිර දිස්ත්‍රික්ක හතක් ආවරණයවන පරිදි ඒවායේ දිළිඳුකම අවම කිරීම, ආර්ථික, සමාජ සංවර්ධනය ඇති කිරීම සඳහා අනෙකුත් දිස්ත්‍රික්ක සමග පරතරය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කෙරේ. සමස්ත EU-SDDP වැඩසටහන සඳහා වැය කෙරෙන මුදල යුරෝ මිලියන 60 කි. EU-SDDP වැඩසටහන UNDP, UNICEF, UNOPS, FAO සහ ILO යන එක්සත් ජාතීන්ගේ සංවිධාන සහ IFC එක්ව ක්‍රියාත්මක වේ.
Video Story