ජේම්ස් පැකර්, ජෝන් කීල්ස් හා ක්වීන්ස්බරි ලෙෂර් ව්‍යාපෘති පිම්මක් පනී

    February, 19, 2014

    පසුගියදා ඉමහත්  ආන්දෝලනයට හේතුවූ ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ මැදිහත්වීමෙන් කොළඹ සිදුකරන මිශ්‍ර සංවර්ධන හෝටල් ව්‍යාපෘතිය ඇතුළු තවත් මහා පරිමාණ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් පිරිනමන බදු සහන සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව අනාවරණය වේ.

    මේ බව හෙළිවන්නේ ජේම්ස් පැකර් සම්බන්ධ වන ලේක් ලෙෂර් හෝල්ඩින්ග්ස් සමාගම සිදුකරන ව්‍යාපෘතිය, ජෝන් කීල්ස් සමූහය සම්බන්ධ වෝටර් ෆ්‍රන්ට් ප්‍රොපර්ටීස් සමාගම සහ සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සම්බන්ධ ද ක්වීන්ස්බරි ලෙෂර් ලිමිටඩ් සමාගම සිදුකරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රජය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදන තුන සලකා බැලීමේදීයි.

    මෙහිදී, මෙම ව්‍යාපෘති වෙනුවෙන්  ආයතනික ආදායම් බදු විරාමයක් සහ ආනයන බදු සහන ලබාදීමට රජය විසින් තීරණය කර ඇත.

    ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර් සම්බන්ධ වන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය කොළඹ ලේක් හවුස් ඉදිරිපිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා ආයෝජනය කිරීමට සැලසුම් කර තිබෙන මුදල ඩොලර් මිලියන 400 ක් පමණ වේ.

    මෙම ව්‍යාපෘතියේ මෙරට ව්‍යාපාරික හවුල් කරුවා ලෙස කටයුතු කරන්නේ සුප්‍රකට ව්‍යාපාරික රවී විජේරත්නයි.

    ජෝන් කීල්ස් සමූහය විසින් කොළඹ ග්ලේනි වීදියේ ආරම්භ කිරීමට සූදානම් වන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඩොලර් මිලියන 650 ක් පමණ ආයෝජනය කිරීමට සැලසුම් කර තිබෙන අතර මුළු ව්‍යාපෘතියේ ආයෝජනය ඩොලර් මිලියන 820 කට ආසන්න වේ.

    ව්‍යාපාරික ධම්මික පෙරේරාට සම්බන්ධ, ද ක්වීන්ස්බරි ලෙෂර් ලිමිටඩ් නැමති සමාගම විසින් සිදුකිරීමට යන මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 300 ක පමණ මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබෙන අතර මෙම මුදලින් සියයට 80 ක් පමණම විදේශීය ආයෝජන වනු ඇතැයි අනාවරණය වේ.

    මෙම ව්‍යාපෘතිය සිදුකරන්නේ නාගරික සංවර්ධන අධිකාරියෙන් කල්බදු පහසුකම මත ලබා ගන්නා කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි ඉඩමකයි.

    ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් මේ වනවිට වර්ධනය වෙමින් තිබෙන අතර මෙම ව්‍යාපෘතිවල අරමුණ වන්නේ සංචාරකයින් වෙනුවෙන් පහසුකම් සැපයීමයි.