ජෝන් කීල්ස් කොටස් පරිමාව වැඩිවෙයි

    May, 25, 2016

    ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් පරිමාව ඉහළ නැංවීමට ඊයේ (24) පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ. මේ අනුව සමාගමේ සෑම කොටස් 7 ක් කොටස් 8 ක් බවට පරිවර්තනය වනු ඇත. සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මෙන්ම කොටස් බලපත්‍රද (Warrants) මේ අනුව වැඩිවීමට නියමිතය.

    2016 මැයි 24 වනදා වන විට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි ප්‍රකාශිත ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් ප්‍රමාණය 1,189,403,549 ක්වූ අතර මෙම කොටස් පරිමාව වැඩි කිරීමට ගත් තීරණයත් සමඟම එම ප්‍රමාණය කොටස් 1,359,318,342 දක්වා වර්ධනය වනු ඇත.

    මේ අතර දැනට නිකුත් කර තිබෙන ජෝන් කීලස් හෝල්ඩිංග්ස් හෝල්ඩිංග්ස් කොටස් බලපත්‍ර ප්‍රමාණය (Warrants) 50,281,136 ක් වන අතර මෙම නව තීරණයත් සමඟම එය 57,464,155 ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය. කොටස් බලපත්‍රයක් සාමාන්‍ය කොටසක් බවට පරිවර්තනය කිරීමට කලින් තීරණය කර තිබූ මිල එක් බලපත්‍රයකට රු. 170.62 ක්වූ අතර මෙම නව තීරණයත් සමඟම එය රු. 149.29 ක් දක්වා අඩුවන බව සමාගම වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කර සිටී.

    මේ සම්බන්ධයෙන් සමාගම අතිවිශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට නියමිත අතර කොටස් කණ්ඩනය වන දිනය එහිදී තීරණය කිරීමට නියමිතය. තවද මේ සඳහා සමාගමේ කොටස් හිමියන්ගේ අනුමැතිය ලබා ගැනීම ද එම අතිවිශේෂ මහාසභා රැස්වීමේ දී සිදුකෙරෙනු ඇත.