ජෝන් කීල්ස් පදනම සහ Victoria Golf Resort වෙතින් මැදදුම්බර නිතුලේමඩට ආදර්ශ පෙරපාසලක්

    January, 6, 2026

    ජෝන් කීල්ස් පදනම තවත් සුවිශේෂී සමාජ මෙහෙවරක නිරත වෙමින් Rajawella Holding හි Victoria Golf Resort (VGR) සමඟ එක්ව මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඉදි කළ නිතුලේමඩ ආදර්ශ පෙරපාසල පසුගියදා නිල වශයෙන් භාරදෙන ලදි.

    විවිධ ජාතීන් නියෝජනය කරන උඩගම ප්‍රදේශයේ දරුවන්ට දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ ප්‍රමාණවත් පෙරපාසල් පහසුකම් නොතිබිණි. මීට පෙර මෙම ප්‍රදේශයේ මිහිර පෙරපාසලේ ගුරුවරුන්ට ඉඩකඩ ගැටලු හේතුවෙන් කිහිප වරක්ම පාසල වෙනත් ස්ථානයක් වෙත රැගෙන යාමට සිදු විය.

    මෙම ගැටලුව විසඳීම සඳහා ජෝන් කීල්ස් පදනම 2020 වසරේ සිට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, මුල් ළමා විය සංවර්ධන ඒකකය සහ මැදදුම්බර ප්‍රාදේශීය සභාව සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වන ලදි. එම සාකච්ඡාවලදී එළඹුණු තීරණ අනුව, COVID වසංගතය, ආර්ථික අර්බුදය සහ ස්වභාවික විපත් වැනි අභියෝග රැසක් ජයගනිමින් 2025 ඔක්තෝබර් මාසයේදී නව පෙරපාසල විවෘත කිරීමට හැකි විය.

    විවෘත කිරීමේ උත්සවයට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ගරු කේ. ඩී. ලාල්කාන්ත, පළාත් කොමසාරිස් චමිලා අතපත්තු සහ මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති රවිඳු උස්වැටකෙයියාව ඇතුළු මහත්ම මහත්මීහුද, ජෝන් කීල්ස් සමූහය නියෝජනය කරමින් ප්‍රවාහන අංශයේ සභාපති සෆීර් හෂීම්, ආයතනික සමාජ සත්කාරක ප්‍රධානී කාමලීන් ජයසූරිය, ජ්‍යෙෂ්ඨ උප සභාපති (ගෝලීය සන්ධාන සහ හවුල්කාරීත්වයන්) හා ආයතනික කටයුතු ප්‍රධානී දිලීප් මුදාදෙණිය සහ Victoria Golf Resort හි සාමාන්‍යාධිකාරී කාංචන වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ සත්කාරක ප්‍රධානී කාමලීන් ජයසූරිය මැතිනිය පැවසුවේ ජෝන් කීල්ස් පදනමේ ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ මැදදුම්බර ප්‍රාදේශීය සභාව සහ Victoria Golf Resort සමඟ එක් වී මෙම ව්‍යාපෘතිය සාර්ථක ලෙස අවසන් කිරීමට හැකි වීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බවයි. අධ්‍යාපනය සඳහා සමාන අවස්ථා උදා කර දෙන අතරම ජාතීන් අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීම වැදගත් බව පෙන්වා දුන් ජයසූරිය මැතිනිය, අධ්‍යාපනය නඟාසිටුවීම මෙන්ම ශ්‍රී ලාංකික අනන්‍යතාවක් නිර්මාණය කිරීම සඳහා දරුවන් සහ ප්‍රජාවන් අතර අවබෝධය, ගෞරවය සහ එකමුතුකම ඇතිකරන ඉගෙනුම් පරිසරයන් නිර්මාණය කිරීම ජෝන් කීල්ස් පදනමේ අරමුණ වූ බවද කියා සිටියාය.

    මෙහිදී අදහස් දැක්වූ ගරු කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යතුමන් මෙසේ පැවසීය. “වැඩිහිටියන් තුළ පවතින පුරුදු වෙනස් කිරීම අසීරු වුවත්, දරුවන් කුඩා කල සිටම විනයගරුක, වගකීම්සහගත පුරවැසියන් වීම සඳහා පුහුණු කළ හැකියි. එසේ කළ විට තමන් සිංහල, දෙමළ හෝ මුස්ලිම් ලෙස නොසිතා ශ්‍රී ලාංකිකයන් ලෙස සිතීමට ඔවුන් පෙළඹෙනවා. රජය ප්‍රාථමික, ද්විතීයික සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට අමතරව මුල් ළමාවිය සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව මා දැඩි ලෙස විශ්වාස කරනවා. යමක් වෙනස් කිරීමට නම් අපි එහි  මූලයේ සිටම වෙනස පටන් ගත යුතුයි.  මැදදුම්බර යනු විශාල ප්‍රදේශයක් වන නමුත් මෙම ප්‍රදේශයේ ස්ථාපිත කළ, රජය විසින් පවත්වාගෙන යනු ලබන පළමු පෙරපාසල මෙය වීම වැදගත් සාධකයක්.  මෙම පෙරපාසල රට පුරා විසිරී ඇති රජයේ පෙරපාසල්වලට ආදර්ශයක් වනු ඇතැයි මා බලාපොරොත්තු වනවා.”

    දෙමාපියන්, බලධාරීන් සහ ප්‍රජා නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. මෙහිදී දරුවන් විසින් අලංකාර නර්තනාංගයක්ද ඉදිරිපත් කරන ලදි. ඊට අමතරව ජෝන් කීල්ස් පදනමේ ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහනට සහභාගී වීමට වරම් ලැබූ නිතුලේමඩ ප්‍රදේශයේ සිසුන් පිරිසක් මෙහිදී තම ඉංග්‍රීසි භාෂා කුසලතා ප්‍රදර්ශනය කළහ.

    ඉදිරියටත් ‘බලගන්වමු දේශය හෙට දිනට’ යන දැක්ම ඔස්සේ රටේ දරු පරපුර වෙනුවෙන් ඵලදායී හා සමාන අධ්‍යාපන අවස්ථා උදා කර දීමට ජෝන් කීල්ස් පදනම කැප වී සිටී.

    ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන ප්‍රධානතම අංශ වන්නේ අධ්‍යාපනය, ප්‍රජාවන් හා ජීවනෝපාය, සමාජ සෞඛ්‍යය හා සහජීවනය සහ ජෛව විවිධත්වය යන අංශ 4 යි. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී පරිපාලිත සමාගමක්ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 18,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 20 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට”  යන දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.