July, 31, 2024
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම් සමූහය වන ජෝන් කී්ල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් හිමිකම් කොටස් නිකුතුවක් (Rights Issue) සමහ කොටස් අනුබෙදුමක් (Sub-division) සිදුකරන බව නිවේදනය කර සිටී.
එහි පළමු පියවර වශයෙන් දැනට තිබෙන සෑම කොටස් 10කටම 1ක් බැගින් වන පරිදි හිමිකම් කොටස් නිකුතුවක් සිදුකිරීමට ඊයේ (30) පැවති සමාගමේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ.
ඒ අනුව නව ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 150,263,595 ක් නිකුත් කිරීමට පියවර ගැනෙන අතර එහිදී එක් කොටසක් රු. 160.00 බැගින් නිකුත් කෙරෙනු ඇත.
මෙම හිමිකම් කොටස් නිකුතුව හරහා සම්පාදනය කර ගැනීමට බලාපොරොත්තු වන මුළු ප්රාග්ධනය රු. 24,042,175,200.00 කි.
සමාගමේ වත්මන් ප්‍රකාශිත කොටස් ප්රාග්ධනය රු. 91,253,863,510.96 ක් වන අතර එය සාමාන්‍ය කොටස් 1,502,635,957 කින් සමන්විත වේ.
හිමිකම් නිකුතුව හරහා සම්පාදනය කර ගනු ලබන මෙම අරමුදල සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Waterfront Properties (Private) Limited හි ව්‍යාපෘති මූල්‍යකරණය වෙනුවෙන් යොදා ගැනීමට නියමිතය. Waterfront Properties (Private) Limited යනු මෙරට සමාගමක් විසින් ක්‍රියාත්මක කරනු ලබන දැවැන්තම ව්‍යාපෘතය වන ‘City of Dreams Sri Lanka’ හි සංවර්ධක සමාගමයි.
මෙම හිමිකම් කොටස් නිකුතුවෙන් පසු කොටස් අනුබෙදුමක් සිදුකිරීමට ද සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.
එහිදී දැනට පවතින සෑම එක් කොටසක්ම කොටස් 10 කට බෙදෙන අතර මේ හරහා සමාගමේ දැනට පවතින කොටස් ප්‍රමාණය 10 ගුණයකින් ඉහළ යනු ඇත. එලෙස කොටස් ප්‍රමාණය ඉහළ යාම හරහා සමාගමේ කොටස් ප්රාග්ධනයට කිසිදු ආකාරයේ බලපෑමක් ඇති නොවේ.
හිමිකම් නිකුතුව සඳහා පූර්ණ වශයෙන් දායකත්වය ලැබීමේ උපකල්පනය මත කොටස් අනුබෙදුම සඳහා භාජනය වන සම්පූර්ණ කොටස් ප්‍රමාණය 1,652,899,552 කි. යෝජිත 1:10 කොටස් අනුබෙදුමෙන් පසු සම්පූර්ණ කොටස් සංඛ්‍යාව කොටස් 16,528,995,520 ක් දක්වා ඒඅනුව ඉහළ යනු ඇත.
අද දෙරණ Business වෙත වාර්තා වන අන්දමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි මෙම හිමිකම් කොටස් නිකුතුව කොළඹ කොටස් වෙළෙඳපොළේ අනුමැතියට යටත් වන්නකි. එසේම හිමිකම් කොටස් නිකුතුව සහ කොටස් අනුබෙදුම සඳහා සමාගමේ අතිවිශේෂ මහා සභා රැස්වීමක දී සමාගමේ සෙසු කොටස් හිමියන්ගෙන් අනුමැතිය ලබා ගැනීමට නියමිතය.