April, 3, 2025
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීමක් ඊයේ (02) සජීව ප්‍රකාශයට පත්කරනු ලැබුවේය.
එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම නව බදු ප්‍රතිපත්තියට අනුව සියලුම ආනයන සඳහා 10% ක තීරු බද්දක් ඇතුළත් වන අතර අමෙරිකා එක්සත් ජනපදය සමඟ වෙළෙඳ අතිරික්තයක් පවත්වාගෙන යන රටවල් සඳහා ඉහළ තීරු බද්දක් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට 44% ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති අතර එය ලොව වැඩිම තීරුබදු පැනවූ පළමු රටවල් පහ අතරට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායමට වැඩිම දායකත්වයක් ලබා දෙන රටවල් අතර පෙරමුන ගන්නේ අමෙරිකාවයි.
කෙසේ වෙතත් මෙම තීරු බදු පැනවීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද යන්න පිළිබඳව සලකා බැලීමේ දී ඇමරිකානු ඩොලර් බිලියන 16.17ක ඉතිහාසයේ ඉහළම අපනයන ආදායමක් වාර්තා කළ 2024 වසරේ දී ද 17.9%ක එනම් ඩොලර් මිලියන 2,909.97ක ඉහළම දායකත්වය ලැබී තිබුනේ එක්සත් ජනපදයෙනි.
මෙම වාර්තාගත ආදායමට ප්‍රධාන වශයෙන් ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු හා සාන්ද්‍රිත නිෂ්පාදන, ආහාර සහ පාන වර්ග අපනයන ඉපැයීම් ඉහළ යාම හේතු වී තිබුණි.
මේ අතර 2025 පෙබරවාරි මාසයේදී මෙරට සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,382.53 ක් දක්වා ඉහළ ගොස් තිබුණ අතර 2025 වසරේ ගත වූ පළමු මාස දෙකෙහි එම අගය දැක්වුනේ ඩොලර් මිලියන 2,730.33 ක් ලෙසයි.
ඒ අනුව 2025 වසරේ පලමු මාස දෙකෙහි ද මෙරට සමස්ත අපනයන ආදායමට ද ඉහළම දායකත්වය ලැබී තිබුනේ එක්සත් ජනපදයෙන් වූ අතර එය එය සමස්ත ආදායමේන් 18.33% ක් එනම් ඩොලර් මිලියන 500.71ක් ආදායමකි.
මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා උපාධි අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසා පෙන්වා දෙන්නේ මේ තීරු බදු ප්‍රතිපත්තිය ලංකාවේ අපනය කෙරහි විශාල වශයෙන් බලපෑම් එල්ල කළ හැකි බවයි. තව ද එමගින් මෙරට ඇඟලුම් කතරුමාන්තයේ නිරතවන පුද්ගලයන්ගේ රැකියා පවා එමගින් අවධානමට ලක් විය හැකි බවයි.
"ආරම්භයේ දී තිබූ 12%ක වගේ තීරු බද්ද මේ වෙද්දි 40% ඉක්මවා ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරලා තියන බව තමයි අපිට පෙනෙන්නේ. අනෙකුත් රටවල් වලට සාපේක්ෂව බලනකොට ලංකාවට පනවලා තියන තීරු බදු ඉතා ඉහළ අගයක් විදිහටත් අපිට දැක ගන්නට පුළුවන්. මේ තත්ත්වය මත ලංකාවේ අපනයන කෙරෙහි මේක දැඩිව බලපාන්නට පුළුවන්. අපි දන්නවා ලංකාවේ අපනයන වලින් 25%කට වඩා වැඩි ප්‍රමාණයක් අපනයනය කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයට. විශේෂයෙන්ම රෙදිපිළි, ඇඟලුම් ආදිය විශාල වශයෙන් අපනයන කරනු ලබන්නේ සහ ඒවට හොඳ ඉල්ලුමක් පැවතුනේ ඇමරිකා එක්සත් ජනපදය තුළ මේ තීරු බදු ප්‍රතිපත්තිය මඟින් ලංකාවේ අපනය කෙරහි දැඩිව බලපාන්නට පුළුවන් ක්‍රම තියනවා. අපනයන වලින් ලැබෙන ආදායම සැලකිය යුතු මට්ටමකින් පහළ යන්නට පුළුවන්. ඒ වගේම මෙසේ අපනයන කඩා වැටුනොත් අනාගතයේ ලංකාවේ මේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රී එක තුළ නිරත වෙලා ඉන්න විශාල පිරිසකගේ රැකියා පවා අවධානම් තත්ත්වයකට පත් වීමේ හැකියාව තියනවා."
Video Story