ටෙලිනාට්‍ය නිර්මාණ අලෙවියේ දී 14‍% ක රඳවා ගැනීමේ බද්ද අය නොකිරීමට ජනපතිගෙන් උපදෙස්

    June, 6, 2018

    නව බදු ප‍්‍රතිපත්තියේ කරුණු වැරදි ලෙස අර්ථකථනය කර ගැනීම නිසා ටෙලිනාට්‍ය නිර්මාණ අළෙවි කිරීමේදී 14% ක බදු මුදලක් අය කිරීමට කටයුතු කිරීම පිළිබඳව පවතින තත්ත්වය නිවැරදි කර, 14‍% ක එම රඳවා ගැනීමේ බද්ද අය නොකිරීමට කටයුතු කරන ලෙස අදාළ ආයතන වෙත ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන මෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යවරයා වෙත උපදෙස් දෙයි.

    මේ අතර නව බදු ප‍්‍රතිපත්තිය හේතුවෙන් දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව ඇතුළු අනෙකුත් කලා ක්ෂේත‍්‍රවල ඉදිරි ගමනට යම් බාධාවන් එල්ලවී තිබේ නම් අදාළ ආයතන සමග සාකච්ඡා කර ඊට සාධාරණ විසඳුම් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ සිනමා, ටෙලිනාට්‍ය ඇතුළු අනෙකුත් කලා ක්ෂේත‍්‍ර නියෝජනය කරන සංගම්වල නියෝජිතයින් ඇතුළු කලාකරුවන් පිරිසක් සමග අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය.

    රජයේ නව බදු ප‍්‍රතිපත්තිය හේතුවෙන් නිර්මාණකරණයේ යෙදීමේදී තමන්ට මුහුණදීමට සිදුව තිබෙන ගැටලු පිළිබඳ මෙහිදී මෙම පිරිස දිර්ඝ වශයෙන් ජනාධිපතිතුමා දැනුවත් කළහ.

    ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඉදිරියේදී මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර රජයේ නව බදු ප‍්‍රතිපත්තියට ද ගැටලුවක් ඇති නොවන අයුරින් මෙම ගැටලු සඳහා සාධාරණ විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි.

    ප‍්‍රතිපත්තියක් අනුවම දේශීය සිනමාව, ටෙලිනාට්‍ය කලාව ඇතුළු අනෙකුත් කලා ක්ෂේත‍්‍ර රැක ගැනීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම රජයක් විසින් සිදුකළයුතු අතර, ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු තීන්දු තීරණ ගැනීමට වත්මන් රජය කිසිදු පසුබෑමකින් තොරව කටයුතු කරන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව රැක ගැනීම වෙනුවෙන් වත්මන් රජය යටතේ ගෙනයන පුළුල් වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

    දේශීය සිනමා කර්මාන්තයේ සහ ටෙලි නාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීමට එම ක්ෂේත‍්‍රවල සියලු අංශ නියෝජනයවන පරිදි කමිටු පත්කිරීමට ද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මීට මාස කිහිපයකට පෙර කටයුතු කෙරුණු අතර එම කටයුතුවල ප‍්‍රගතිය ද මෙහිදී විමසා බැලු ජනාධිපතිතුමා අදාළ ඉදිරි වැඩපිළිවෙළ කඩිනම් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.

    අමාත්‍යවරුන් වන මංගල සමරවීර, විජයදාස රාජපක්ෂ, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, උසස් අධ්‍යාපන සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි යන මහත්වරුන් ඇතුළු නිලධාරින් සහ සෝමරත්න දිසානායක, ධර්මසිරි බණ්ඩාරනායක, නාලන් මෙන්ඩිස්, නීතිඥ ඩග්ලස් සිරිවර්ධන, දීපානි සිල්වා, චාන්දනී සෙනෙවිරත්න, ඉනෝකා සත්‍යාංගනී යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.