ටොයොටා ලංකා සමාගම අලූත්ම ප්‍රියස් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

    March, 25, 2016

    ලොව ජනප්‍රියම හයිබි්‍රඩ් රථය ලෙස සැලකෙන ටොයොටා ප්‍රියස් රථ පෙළේ අලූත්ම රථය මෙරටට හඳුන්වාදීමට ටොයොටා ලංකා (පුද්.) සමාගම පසුගියදා කටයුතු කළේ ය. ටොයොටා ලංකා යනු මෙරට ටොයොටා රථ සඳහා එකම බලයලත් සමාගමයි. මෙම එළිදැක්වීම කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද උත්සවාකාරයෙන් සිදුකරන ලදි. නව රථයේ හයිබ්‍රිඩ් පද්ධතිය සහ පැදවුම් තාක්ෂණය විශාල ලෙස වැඩිදියුණු කර ඇති අතර එහි ඉන්ධන කාර්යක්ෂමතාවද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. මේ වැඩිදියුණු කිරීම් නිසාම මෙය හඳුන්වා දී ඇත්තේ ‘අනාගතයට ඔබින සහ පෙරළිකාරී රිය පැදවුම් අත්දැකීමක්‘ ලෙසිනි.

    ජපානයේ ටොයොටා මෝටර් රථ සමාගමට අනුබද්ධිත වෙළඳ සමාගම වන ටොයොටා ටූෂෝ සමාගමහි පූර්ණ අයිතියට යටත් අනුබද්ධ සමාගමක් වන ටොයොටා ලංකා (පුද්.) සමාගම, ශ්‍රී ලංකාව තුළ නව ප්‍රියස් රථය ඛෙදාහැරීමේ එකම නිල නියෝජිත ලෙස කටයුතු කරයි. සිය මවු සමාගමේ පිටිවහල සමගින් හයිබ්‍රිඩ් වාහන සඳහා ජාත්‍යන්තර තලයේ විශිෂ්ටතම සේවාවන් ලබාදීමේ හැකියාව එම සමාගම සතු ය. එමෙන්ම රථවාහන අලෙවිය, සේවා සැපයීම සහ අමතර කොටස් අලෙවිය සම්බන්ධයෙන් ටොයොටා ලංකා සමාගම දශක ගණනක අත්දැකීම් ලබා ඇත.

    මෙම සාධක නිසා ටොයොටා වාහන සඳහා හොඳම මිලගණන් සමගින් විශිෂ්ටතම අලෙවියෙන් පසු සේවාවක් ලබාදීමේ හැකියාව ටොයොටා ලංකා සතු වේ. එබැවින් ශ්‍රී ලංකාව තුළ නව ටොයොටා ප්‍රියස් රථය මිලදීගන්නට තීරණය කරන කෙනෙකුට ඒ සඳහා යායුතු හොඳම සහ විශ්වාසනීයම තැන වන්නේ ටොයොටා ලංකා සමාගමයි. නව ප්‍රියස් රථය සඳහා දැනට වෙළඳපොළේ ඇති හොඳම වගකීම වන වසර 4ක/කිලෝමීටර 100,000 ක වගකීම ලබාදීමටද එම සමාගම පියවර ගෙන ඇති නිසා පාරිභෝගිකයන්ට ගෙවන මුදලට උපරිම වටිනාකමක් හිමි වේ.

    විවිධ සමාජ තල සහ තරාතිරම්වල පුද්ගලයන්ට එකසේ ගැළපෙන අයුරින් නව ටොයොටා ප්‍රියස් රථය සැලසුම් කර තිබේ. එය පවුලේ වාහනයක් වන අතරම, අනාගතවාදී ලෙස සිතන වෘත්තිකයන්ට ගැළපෙන රථයක්ද වෙයි.

    මහා පරිමාණයෙන් නිෂ්පාදනය කෙරුණු ලොව ප්‍රථම හයිබි්‍රඩ් රථය වන ටොයොටා ප්‍රියස් රථය, ලොව පුරා පරිසර හිතකාමී ප්‍රවණතාවක් ඇතිකිරීම උදෙසා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළේ ය. කාලයත් සමග වරින් වර එම රථයේ සිදුකෙරුණු වැඩිදියුණු කිරීම්, දිගින් දිගටම මෙම පරිසර හිතකාමී රථවාහන සංකල්පය දියුණු කිරීමට දායක විය. මෙම දියුණු කිරීම් මගින් රථයේ ඉන්ධන කාර්යක්ෂමතාව මෙන්ම ක්‍රියාකාරීත්වයද ඉහළ යාම නිසා එය නවීන ලෝකයට වඩාත් හොඳින් ගැළපෙන රථයක් බවට පත්වී තිබේ.

    4 වන පරම්පරාවේ (4th generation) ප්‍රියස් රථය, ටොයොටා සමාගමේ නව TNGA (Toyota New Global Architecture) චින්තනයේ ප්‍රථම නිෂ්පාදනයද වේ. වැඩි ව්‍යුහාත්මක දැඩි බවකින් සහ පොදුවේ භාවිතා වන පදනමකින් යුක්ත එය නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩිකිරීමට උපකාරී වෙයි. මෙම TNGA සංකල්පයේ මූලික පදනම පොදු නිර්මාණකරණය හා සැලසුම්කරණය වන අතර එය ලොව පුරා රථවාහන නිෂ්පාදනයේ පෙරළිකාරී වෙනසක් ඇතිකරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාවේ දියත් කෙරුණු නව ප්‍රියස් රථය, මෙම නව සංකල්පය අත්හදාබැලීමට පාරිභෝගිකයන්ට ලබාදෙන ප්‍රථම අවස්ථාවයි. එමෙන්ම සිය රථය සමග එහි හිමිකරුට/හිමිකාරියට සමීපත්වයක් හෝ බැඳීමක් ඇතිවන පරිදි එය නිර්මාණය වී තිබීම මෙම නව රථයේ තවත් විශේෂත්වයක් ලෙස හැඳින්විය හැක.

    ලොව පුරා මෝටර් රථ මිලියන 3.5 ක අලෙවියක් සමගින් ලොව සාර්ථකම හයිබි්‍රඩ් රථය බවට පත්වී ඇති ප්‍රියස් රථය, එහි 4 වැනි අදියරේදී අලූතින් සැලසුම් කිරීමට ටොයොටා සමාගම කටයුතු කර තිබේ. එය තවමත් ෆාස්ට්බැක් (Fastback) ආකාරයේ රථයක් වන නමුත් එය වර්තමානයට වඩාත් හොඳින් ගැළපෙන ලෙස වැඩිදියුණු කර ඇත. එමෙන්ම එය පෙර මාදිලියට වඩා මඳක් දිගු, පුළුල් සහ පොළොවට සමීප වන අතර වඩාත් පහළ ගුරුත්වාකර්ෂණ මධ්‍යයකින් යුක්ත ය. ඊට අමතරව එහි පසුපස ස්වාධීන සස්පෙන්ෂන් සහිත නිසා එහි ස්ථාවරත්වය වැඩිවන අතර හැසිරවීමද වඩාත් පහසු වේ.

    ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් නව ප්‍රියස් රථය, වත්තල, රත්මලාන සහ කුරුණෑගල යන ප්‍රදේශවල පිහිටි ටොයොටා ලංකා ප්‍රදර්ශනාගාරවලදී කෙනෙකුට පරීක්ෂා කර බැලිය හැක. එම ප්‍රදර්ශනාගාර වෙත පැමිණ, අනාගතය කෙරෙහි සුභවාදී දායකත්වයක් ලබාදෙන සහ තමන් හා තම පවුලේ අයට ප්‍රතිලාභ රැසක් පිරිනමන අලූත්ම ප්‍රියස් රථයක් සඳහා ආයෝජනය කිරීමට අවධානය යොමුකරන මෙන් ටොයොටා ලංකා (පුද්.) සමාගම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කර සිටී.