ඩයලොග් රූපවාහිනී ග්‍රාහකයින් 37% කින් ඉහළට. විදුලි සංදේශ සමාගම්වල ලාභ අඩුවීමට හේතුව මෙන්න!

    August, 11, 2015

    ඩයලොග් සමූහයේ ගාස්තු අයකරන ඩිජිටල් රූපවාහිනී ව්‍යාපාරික අංශය වන ඩයලොග් රූපවාහිනීයේ ග්‍රාහකයින් ප්‍රමාණය 2015 ජුනි මාසය අවසන් වනවිට 5,34,000 ක් දක්වා වර්ධනය වී ඇතැයි සමාගම සඳහන් කරයි.

    මෙය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 37 කින් වර්ධනය වීමකි.

    ඩයලොග් රූපවාහිනිය (DTV) විසින් 2015 පළමු මාස හය තුළදී සියයට 25 ක ආදායම් වර්ධනයක් ලබාගනිමින් රුපියල් බිලියන 2.8 ක ආදායමක් ලබාගෙන තිබීම කැපී පෙනේ.

    ඩයලොග් රූපවාහිනිය විසින් 2015 පළමු මාස හය තුළදී රුපියල් මිලියන 114 ක ශුද්ධ ලාභයක් (Net Profit) ලබා තිබෙන අතර එය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 49 ක අඩුවීමකි.

    මේ අතර, ඩයලොග් ආසිආටා සමූහය විසින් 2015 මුල් මාස හය තුළදී රුපියල් බිලියන 35.1 ක ඒකාබද්ධ ආදායමක් ලබාගෙන තිබෙන්නේ සියයට 6 ක ආදායම් වර්ධනයක් වාර්තා කරමිනි. මේ අනුව, 2015 මුල් මාස 06 තුළ ඩයලොග් සමූහය රුපියල් බිලියන 3.9 ක ශුද්ධ ලාභයක් (Net Profit) වාර්තා කිරීමට සමත්ව තිබේ.

    දේශීය පෙර ගෙවුම් ඇමතුම් සඳහා සියයට 25 ක බෝනස් කතා කාලයක් 2015 අප්‍රේල් 07 වනදා සිට ලබාදීමට රජය තීන්දු කිරීම 2015 දෙවන කාර්තුවේදී විදුලි සංදේශ සමාගම්වල ආදායම් අඩුවීමට හේතුවී ඇත.