ඩ්‍රැයිවර්ලාගේ මොළ සෝදන්න අළුත් වැඩක්

    July, 30, 2014

    මගී බස්රථ හා වෑන් රථවල සේවය කරන රියදුරන්ට ඉදිරියේදී නිකුත් කරන රියදුරු බලපත්‍රවල විශේෂ සටහනක් යොදමින් විශේෂ ඇගයීමක් කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සූදානම් වේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ මෙම විශේෂ ඇගයුම ලබාදෙන්නේ දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී පවත්වන පුහුණු වැඩසටහනට සහභාගී වන මගී වාහන රියදුරන්ට බවයි.

    මෙහිදී, තාක්ෂණය, ප්‍රථමාධාර, ඇවතුම් පැවතුම් පිළිබඳව පුහුණුවක් ලබාදෙන බවත් මෙම පුහුණු වැඩසටහනට අවශ්‍ය විෂය මාලාව මේ වනවිට සකස් කරමින් සිටින බවත් හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේය.

    මෙම පුහුණුවේ මුල්ම වැඩසටහන ලබන අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර එය දින දෙකක වැඩසටහනකි.

    “මෙම පුහුණුවෙන් පස්සේ මෙම රියදුරන්ගේ රියදුරු බලපත්‍රයේ PT යන විශේෂ සටහන දැමීමට අපි කටයුතු කරනවා. එවිට, පොලීසියට රාජකාරි කටයුතු කිරීමේදී එය පහසුවක් වෙනවා. එම සටහනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අදාළ රියදුරා විධිමත් පුහුණුවක් ලැබූවෙකු බව පෙන්වාදීමයි.“

    යනුවෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පැවසීය.