ඩිජිටල් ගනුදෙනු තුළින් අනාගතය හැඩගන්වමු: ශ්‍රී ලංකා මහ බැංකුව නුවරඑළිය දිස්ත්‍රික්කය තුල සංවිධානය කරනු ලබන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන

    March, 19, 2025

    2025 වසර සඳහා වන සිය මීළඟ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 මාර්තු මස 22 සහ 23 යන දෙදින  ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහභාගීත්වයෙන් නුවරඑළියේදී පවත්වනු ලැබේ.

    මෙම වැඩසටහන ග්‍රෙගරි වැව - රථ ගාලේ දී පැවැත්වෙන අතර ඒ සඳහා බැංකු, මූල්‍ය සමාගම් සහ විදුලි සංදේශ සමාගම් වැනි විද්‍යුත් මුදල් සේවා සපයන්නන් ඇතුළු ජංගම ගෙවීම් යෙදුම් සේවා සපයන්නන් (Mobile Payment Apps Service Providers ) මෙන්ම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය  පරිමාණ ව්‍යවසායකයන්ද (MSMEs) සහභාගී වනු ඇත.

    මෙම වැඩසටහනෙහි දී, මහජනතාවට ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සදහා මුදල් භාවිතය වෙනුවට ආරක්ෂිතව, පහසුවෙන් සහ අඩු වියදමකින් යුතුව ඩිජිටල් ගෙවීම් සිදු කිරීමට හැකියාව ඇති ජංගම ගෙවීම් යෙදුම් සඳහා ලියාපදිංචි වීමට පහසුකම් සැලසේ. තවද, මෙම වැඩසටහනට සහභාගී වන වෙළෙදුන්ගෙන් LANKAQR ගෙවීම් ක්‍රමය භාවිතා කර මිල දී ගන්නා භාණ්ඩ සහ සේවා සඳහා සුවිශේෂී වට්ටම් ලබා දෙනු ඇත.

    නව ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයන් පිළිබඳව සිය දැනුම්වත්භාවය වැඩි කරගැනීමට සහ ජංගම දුරකථන භාවිතා කර ඩිජිටල් ගෙවීම් සිදු කරන ආකාරය පිළිබඳව ගෙවීම් යෙදුම් සේවා සපයන්නන්ගෙන් ඍජුවම සහය ලබාගැනීමට මෙම ස්ථානයේ දී  හැකියාව ලැබෙනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම වැඩසටහනට සහභාගී වන ලෙස මහජනතාවට ආරාධනා කරනු ලැබේ.