ඩීමෝ කෘෂිකර්මය ආශ්‍රිත ව්‍යාපාර කටයුතු “ඩීමෝ ඇග්‍රි“ සන්නාමය යටතේ පුළුල් කිරීමට සූදානම් වෙයි

    July, 5, 2016

    මෙරට ප්‍රමුඛ පෙලේ රථවාහන සමාගමක් වන සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම කෘෂි ක්ෂේත්‍රයට අදාල සිය ව්‍යාපාර කටයුතු “ඩීමෝ ඇග්‍රි“ යන නව සන්නාමය යටතේ පුළුල් කිරීමට සැරසෙයි.

    ලොව හොඳම කෘෂි ආශ්‍රිත වෙළඳ නාමයන් වන මහේන්ද්‍රා ට්‍රැක්ටර්, CLAAS හාවස්ටර්, ආදී කෘෂි ක්ෂේත්‍රයට අදාල වාහන සහ යන්ත්‍රෝපකරණ දශක දෙකකටත් වැඩි කාලයක් මෙරට බෙදා හරිනු ලැබුවේ ඩීමෝ සමාගම විසිනි. මෙහිදී ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ තාක්ෂණය සහ ශිල්පීය ක්‍රම රැසක් මෙරට කෘෂි ක්ෂේත්‍රයට තිළිණ කිරීමට ඩීමෝ සමාගමට හැකියාව සහ අවස්ථාව හිමිවිය. අනාගත කෘෂිකර්මාන්තයට ඔබින සේවාවන් නව “ඩීමෝ ඇග්‍රි “ සන්නාමය යටතේ තවදුරටත් විධිමත්ව ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ තරඟකාරී ආකාරයට පාරිභෝගිකයා වෙත ලබාදීමට අපේක්ෂිතය. මෙහි පළමු පියවර ලෙස “ඩිමෝ ඇග්‍රි“ යනුවෙන් නව වෙලඳ ලාංඡනයක් හඳුන්වා දීම පසුගියදා සිදුකෙරින.

    ඩීමෝ සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේ “ ඩීමෝ කෘෂි ව්‍යාපාර අංශය 2015/16 වසර වලදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ බවයි. කෘෂි ක්ෂේත්‍රය තුළ විවිධ අංශ වෙත ගමන් කිරීම ඩීමෝ වැනි සමාගමකට ඉතා වැදගත් බව ද හෙතෙම පැවසීය. මෙරට කෘෂිකර්මය ආශ්‍රිත නිෂ්පාදන සහ සේවා සඳහා “ ඩීමෝ ඇග්‍රි “ ලෙස නව වෙලඳ ලාංඡනයක් යටතේ හඳුන්වා දීම මෙහි පළමු පියවර බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    මෙහිදී අදහස් දැක්වූ “ඩීමෝ ඇග්‍රි “ හි යන්ත්‍රෝපකරණ අංශයේ සහකාර සාමාන්‍යාධිකාරි ගිහාන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ හඳුන්වා දුන් නව ලාංඡනය යටතේ කෘෂි උපකරණ වෙළඳ පල තුල තම මෙහෙයුම් පහසු කරවනු ඇති බවයි. එමෙන්ම මෙම නව ලාංඡනය යටතේ කටයුතු කිරීම ව්‍යාපාර කෂේත්‍රය තුළ අමතර වටිනාකමක් එක්කරනු ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය. මේ යටතේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විවිධ වූ අංශයන් වෙත ව්‍යාපාර ක්ෂේත්‍රය පුළුල් කිරීමට අපේක්ෂිත බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. අපගේ නව දැක්ම වන ඊලඟ පරපුරේ කෘෂිකර්මාන්තය අපගේ වර්තමාන හා අනාගත ව්‍යාපාර කටයුතු ඉලක්ක වන අයුරින් සිදුකිරීමට ද බලාපොරොත්තු වන බවද ගිහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අනාගත නිපැයුම් දේශිය වෙළඳ පලට හදුන්වා දීම සඳහා මෙම පියවර අතිශය වැදගත් වනු ඇති බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.

    “ඩිමෝ ඇග්‍රි“ සන්නාමය දියත් කරමින් සමාගම විසින් කෘෂිකර්මාන්තයේ ඊළඟ පරපුර සංකේතවත් කරමින් නව නිපැයුම් පෙළක්ම දේශිය වෙළඳ පලට හඳුන්වාදීම ද සිදුකෙරිණ.

    මෙලෙස හඳුන්වා දුන් CLAAS Crop Tiger 40 (CT 40) අස්වනු නෙලනය තෙත සහිත කුඹුරු ආශ්‍රිතව කටයුතු කිරීමේදී ඉතා පහසුවෙන් මෙහෙයවිය හැකි අස්වනු නෙලනයකි.එයාර් කොම්ප්‍රෙසරයක්ද සහිත මෙම අස්වනු නෙලනය නඩත්තු කිරීමද ඉතා පහසු වෙයි.මෙමඟින් අඩු කාලයක් තුළ වැඩි අක්කර ගණනක අස්වනු නෙලිය හැකි නිසා ඵලදායීතාවයෙන්ද ඉහළ ය. උසස්ම ජර්මානු තාක්ෂණය යටතේ නිපදවන CLAAS අස්වනු නෙලනයන් සඳහා ඩීමෝ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාවක් සපයයි.

    “ඩීමෝ ඇග්‍රි“ සන්නාමය දියත් කරමින් හඳුන්වාදුන් Garuda ගොවිපළ උපකරණ කුඩා පරිමාණයේ එළවලු වගාකරුවන් සඳහා අතිශය වැදගත් වෙයි.“ඩීමෝ ඇග්‍රි “ හි යන්ත්‍රෝපකරණ අංශයේ සහකාර සාමාන්‍යාධිකාරි ගිහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ Baby Weeder, Micro Weeder, Mini Weeder සහ Master Weeder,නමින් Garuda ගොවිපළ උපකරණ පෙළක් හඳුන්වා දුන් බවයි. කම්කරු කුලිය ඉහළ යාම නිසා කුඩා පරිමාණයේ වගාකරුවන් මහත් අසීරුතාවයට පත්ව ඇති බවත් ඔවුන්ට මෙම උපකරණ භාවිතය මඟින් සිය වියදම් අවම කරගනිමින් ඵලදායීතාව ඉහළ නංවා ගත හැකි බවත් හෙතෙම සඳහන් කළේය. ඩීමෝ හි සුපිරිතම අලෙවියෙන් පසු සේවාව නිසා මෙම උපකරණය නඩත්තු කිරීම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව වගකීමක් හිමිවන බවද ප්‍රනාන්දු මහතා කීය.

    මහේන්ද්‍රා සන්නාමය යටතේ වන නවතම “Arjun Novo සහ Mahindra Yuvo“ ට්‍රැක්ටර් රථ ද “ඩීමෝ ඇග්‍රි“ විසින් බෙදාහරිනු ලබයි. ඉහළ මැදි සහ පහළ ආදී වශයෙන් වේග ධාරිතා කිහිපයකින් යුක්ත වන Arjun Novo ට්‍රැක්ටරය පුළුල් පරාසයක කෘෂිකාර්මික කටයුතු සඳහා දායක වන අතර එහි අමතර වේග 7ක් සහ 15F+3R ගියර් පද්ධතියක්ද සහිත වෙයි. අශ්ව බල 30 -45 අතර පරාසයේ Mahindra Yuvo ට්‍රැක්ටර් උසස්තම තාක්ෂණය යටතේ පාලනය කළ හැකි වන අතර කිලෝග්රෑම් 1500 ක බර පැටවීමටද හැකියාව ඇත.

    ඩීමෝ කෘෂිකාර්මික අංශය මූලික පරාසයේ මහේන්ද්‍රා ට්‍රැක්ටර් සහ මෙවලම් ශ්‍රී ලංකාවේ බෙදාහරිනු ලබයි. එමෙන්ම CLAAS අස්වනු නෙලන මෙරට බෙදාහරින්නේද ඩීමෝ කෘෂි අංශය විසිනි. මෙම නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරමින් ඉදිරියේදී ලොව ප්‍රමුඛ කෘෂි තාක්ෂණික සහ විසඳුම් පෙළක් මෙරටට හඳුන්වා දීමට “ඩීමෝ ඇග්‍රි“ සැලසුම් කර තිබේ.