November, 9, 2016
ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන මෝටර් රථ ක්ෂේත්‍රයේ අනාගත වර්ධනය වටහා ගනිමින් ඩීමෝ විසින් දිවයින පුරා පිහිටි ටාටා මොටර්ස් හි අලෙවි සේවා ජාලය නව සංකල්පයක් යටතේ පුළුල් කරයි. 3S (Sales, Service, Spare Parts) යනුවෙන් හඳුන්වා ඇති මෙම නව සංකල්පය යටතේ අලෙවිය, සේවා, සහ අමතරකොටස් යන අංශ සඳහා ප්‍රමුඛස්ථානයක් හිමිවෙයි. එම සංකල්පයට අනුව වැඩිදියුණු කළ නව ටාටා මගී මෝටර් රථ අලෙවි ප්‍රදර්ශනාගාර 3ක් පසුගියදා විවෘත කෙරිණ.
මෙරට ව්‍යාපාරික කේන්ද්‍රස්ථාන ලෙස සැලකෙන මීගමුව,කොළඹ සහ කළුතර යන ප්‍රදේශවල මෙම වැඩි දියුණු කරන ලද නව ප්‍රදර්ශනාගාර පසුගිය ඔක්තෝබර් 13 සහ 14 යන දිනවල විවෘත කෙරිණ. මෙම ප්‍රදර්ශනාගාර වලදී පාරිභෝගිකයින්ට වඩාත් සමීප හා පහසු උසස් මට්ටමේ සේවාවක් සපයනු ලබයි. මීගමුව ප්‍රදර්ශනාගාරය අංක 258 හලාවත පාර, පෙරියමුල්ල යන ප්‍රදේශයේ පිහිටා ඇති අතර කළුතර ප්‍රදර්ශනාගාරය අංක 768 ගාලු පාර කටුකුරුන්ද යන ලිපිනයේ පිහිටා තිබේ.
මෙම ප්‍රදර්ශනාගාර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ඩීමෝ හි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා කියා සිටියේ මගී මෝටර් රථ අලෙවියේ ඉහළ මට්ටමකට පැමිණීමට සිය සමාගමට හැකිවී ඇති බවයි.ඒ අනුව සිය පාරිභෝගිකයින්ට පුළුල් සහ නවීන පහසුකම් සහිත ප්‍රදර්ශණාගාර ජාලයක් තුළද වඩා උසස් සේවාවක් සැපයීමේ අරමුණ ඇතිව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවූ බව හෙතෙම කියා සිටියේය.
මීගමුව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ටාටා මෝටර්ස් හි මගී වාහන,ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රධානි ජොනී ඌමෙන් මහතා සඳහන් කළේ ටාටා මෝටර්ස් ශ්‍රී ලංකාව තුළදී අත්කරගනිමින් සිටින ප්‍රගතිය සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි. මෙරට මඟී ප්‍රවාහන වෙළඳ පළේ ඉදිරි සංවර්ධන සැලසුම් වල ප්‍රමුඛතම සමාරම්භයක් ලෙස මෙම අවස්ථාව හැඳින්විය හැකි බවත්, ඒ මහතා සඳහන් කළේය.
මෙම නවීනතම ප්‍රදර්ශනාගාර වර්ග අඩි 1500 ක පමණ පුළුල් ඉඩකින් යුක්ත වන අතර එකවර වාහන 5ක් හෝ 6ක් පමණ ප්‍රදර්ශණය කිරීමේ පහසුකම්ද සහිත වෙයි. මෙහිදී පාරිභොගිකයින්ට නිසි පරිදි තමාට අවශ්‍ය වාහනය රිසි ලෙස පරීක්ෂා කළ හැකි වෙයි. තවද මීට අමතරව දිගු කාලීන පාරිභෝගික සබඳතාවයක් ගොඩනගා ගැනීම සඳහා සහ නිෂ්පාදන මෙන්ම පාරිභෝගික සේවා සම්බන්ධයෙන් පුහුණු කරන ලද ඩීමෝ කාර්ය මණ්ඩලය විසින් උසස් මට්ටමේ පාරිභෝගික සේවාවක් ද මෙහිදී සපයනු ලබයි.
වසර 2 ක හෝ කිලොමීටර් 50000 ක වගකීමේ සහතිකයක් සමඟ ටාටා මගී ප්‍රවාහන මෝටර් රථ ඩීමෝ විසින් ශ්‍රී ලංකාවේදී අලෙවි කෙරෙන අතර ඊට අමතරව නොමිලේ සේවා වාර 3ක්, පැය 24 පුරා ක්‍රියාත්මක මාර්ගස්ථ සහායක සේවාව, දිවයින පුරා විහිදුන අලෙවි, සේවා සහ අමතරකොටස් සැපයීමේ මධ්‍යස්ථාන ජාලයකින් ද සමන්විත නිසා පාරිභෝගිකයාට වඩා සමීප සේවාවක් ඉටු කෙරෙනු ඇත.
වර්ෂ 1961 දී ටාටා මෝටර්ස් සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම ( ඩීමෝ )සමඟ එක්ව ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කල අතර මේ වනවිට වෙළඳ සහ මඟී වාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයට පත්ව සිටියි. සිය පාරිභෝගිකයින් වෙත උපරිම වටිනාකමක් ලබා දෙන ටාටා මෝටර්ස් හි නිෂ්පාදන පෙළක් වසර 2004 සිට ශ්‍රී ලාංකේය මගී වාහන වෙළඳ පළේ ජනප්‍රියත්වයට පත්ව තිබේ. Indica, Indigo, Vista, Manza, Safari, Zest, Bolt සහ Nano යනාදී වශයෙන් වන මෙම මගී වාහන සඳහා ශ්‍රීලාංකේය වෙළඳ පළ තුළ වේගයෙන් වර්ධනය වන ඉල්ලුමක් පවතී.
Video Story