March, 19, 2015
මෙරට පුද්ගලයින්ට අයත් ඩොලර් බිලියන 02 කට වැඩි වත්කම් තිබෙන බැංකු ගිණුම් තුනක් ඩුබායි ජාතික බැංකුවේ තිබෙන බව අනාවරණය කරගෙන තිබෙන බවත් ඒවා නැවතත් ලංකාවට ලබාගැනීම සඳහා ඒ පිළිබඳව කටයුතු කරන ඇමරිකානු සහ ඉන්දියානු ආයතන වලට භාරදී තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කීය.
ඔහු අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ මේ ආකාරයෙන් මෙරට ඇතැම් පුද්ගලයින් ඩොලර් බිලියන 10 ක පමණ වත්කම් මෙරටින් රැගෙන ගොස් ඇතැයි හෙළිවී තිබෙන බවත් එය මෙරට විදේශ සංචිතයට වඩා වැඩි බවයි.
පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ඩුබායි ජාතික බැංකුවේ තිබෙන මෙම ගිණුම් තුනේ මුදල් වලින් කොටසක් ආපසු ලබාගෙන තිබෙන බවත් ඒවා වෙනත් රටකට ගෙන යන්නට ඇතැයි සැක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර, මේ ආකාරයෙන් විදේශ රටවලට ගෙන ගොස් තිබෙන වත්කම් නැවතත් ලංකාවට ගෙන ඒම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් රාජ්‍ය වත්කම් ආපසු ලබාගැනීම පිළිබඳ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් රජය විසින් පිහිටුවා තිබේ.
Video Story