ඩොලරය හදිසියේ ඉහළට. වසර දෙකකට පසු වැඩිම මිල අද

    March, 24, 2026

    එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද (24) දිනයේ දී රු. 312.96 ක් ලෙසින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතික සටහනට අනුව මෙලෙස ඩොලරයේ අගය රු. 312 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ 2024 පෙබරවාරි 21 දිනෙන් පසු පළමුවරටය.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (24) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 310.02 ක් හා විකුණුම් මිල රු. 317.46ක් ලෙසින් සටහන් වී තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරය හමුවේ පසුගිය 2025 වසර තුළ දී  5.6%කින් අවප්‍රමාණය වී ඇති බවත්, 2026 වසරේ මාර්තු 20 දක්වා කාලපරිච්ඡේදය තුළදී 0.5%කින් අවප්‍රමාණය වී ඇති බවත් ය.