ඩොලර් බිලියන 16.17ක ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම 2024 දී

    January, 27, 2025

    2024 වසරේ සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 16.17ක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නවතම වාර්තා අනාවරණය කරයි. මෙය මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාව උපයා ඇති ඉහළම අපනයන ආදායම වේ. මෙය මීට පෙර ඉහළම වාර්ෂික අපනයන ආදායම වූ 2018 වසරේ දී වාර්තා වී තිබෙන ‌ඩොලර් බිලියන 15.72 අභිබවා යාමකි.

    මෙම අගය ඩොලර් බිලියන 12.70 ක වෙළෙඳ භාණ්ඩ අපනයනවලින් සහ ඩොලර් බිලියන 3.46ක සේවා අපනයනවලින් සමන්විත වේ.

    මේ අතර ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය 2023 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 4.06% ක වැඩිවීමක් වන අතර  2024 දෙසැම්බර් මස වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 1,042.5 ක්බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධනය මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

    මෙයට ප්‍රධාන වශයෙන් ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු හා සාන්ද්‍රිත නිෂ්පාදන, ආහාර සහ පාන වර්ග අපනයන ඉපැයීම් ඉහළ යාම ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධනය මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන අතර එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    “කෙසේ වෙතත්, 2024 දෙසැම්බර් මාසය සඳහා සේවා අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 322.92ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.  එය 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 29.96% ක වැඩිවීමකි.“

    “එහි ප්‍රතිඵලයක් වශයෙන්  වෙළඳ භාණ්ඩ සහ සේවා ඇතුළුව 2024 දෙසැම්බර් මාසය සඳහා වූ මුළු අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,365.42කි. එය 2023 එම කාල සීමාවට සාපේක්ෂව 9.21%ක වැඩිවීමකි.“