ඩොලර් මිලියන 8.5ක ආයෝජනයකට Transdigm Group සමාගම BOI සමග එක්වෙයි

    October, 31, 2024

    ගෝලීය ගුවන් සේවා සඳහා ඉංජිනේරු විසඳුම් සපයන්නෙකු ලෙස ඉහලින්ම සිටින Transdigm Group සමාගම මෙරට ක්‍රියාත්මක AmSafe BirdPort සමාගම හා එක් වෙමින් SHIELD නමින් නව කර්මාන්ත ශාලාවක් වතුපිටිවල ආයෝජන කලාපයේ ආරම්භ කරයි.

    ඇමරිකානු ඩොලර් මිලියන 8.5ක ආයෝජනයකින් ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලාව සදහා මුල් ගල තැබීම අද (31) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වතුපි‌ටිවල ආයෝජන කලාපයේ සිදු කෙරිණි. මෙරට අමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට SHIELD සමාගමේ සභාපති ඩෙනිස් පර්සල් ( Dennis Pursel), ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන්, AmSafe BirdPort සමාගමේ සාමාන්‍යාධිකාරිනී චාන්දනී ඒකනායක යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

    Transdigm සමාගම ලොවපුරා සේවකයින් 16,000 කට වැඩි පිරිසක් සේවය කරන ඇමරිකානු ඩොලර් බිලියන 6.6කට වැඩි වත්කම් ඇති ඇමරිකානු සමාගමකි. ගෝලීය ගුවන් සේවා සඳහා ඉංජිනේරු විසඳුම් සපයන්නෙකු ලෙස ඉහලින්ම සිටින Transdigm Group සමාගම මෙරට ක්‍රියාත්මක AmSafe BirdPort සමාගමේ මව් සමාගම වේ.

    AmSafe BirdPort සමාගමේ සාමාන්‍යාධිකාරිනී චාන්දනී ඒකනායක මහත්මිය අදහස් දක්වමින් 2001 වසරේ සිට ක්‍රියාත්මක AmSafe BirdPort සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වතුපිටිවල අපනයන කලාපයේ සාර්ථකව ක්‍රියාත්මක වන බව පැවසුවාය. ගෝලීය ගුවන් සේවා සහ Boeing සහ Airbus වැනි ගුවන් යානා තනන්නන් සඳහා ඉංජිනේරු විසඳුම් සපයන්නෙකු ලෙස ඉතා සාර්ථකව ක්‍රියාත්මක තම සමාගම මෙරට ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දක්වන බව ඒකනායක මහත්මිය ගෝලීය අභ්‍යවකාශ සහ ආරක්ෂක වෙළඳපොලවල ආරක්ෂාව සහ ආරක්ෂක අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම සමාගම දශක දෙකකට වැඩි කාලයක සිට උසස්ම තත්ත්වයේ නිෂ්පාදන ලොව ප්‍රචලිත ගුවන්යානා නිෂ්පාදන සමාගම් සදහා සපයමින් සිටින බවද පැවසුවාය.

    මෙහිදී අදහස් දැක්වූ අමරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය, ලෝකයේ ප්‍රධානතම ගුවන්යානා සහ මගී ප්‍රවාහන ආරක්ෂක උපාංග නිෂ්පාදිත ඇමරිකානු සමාගමක් මෙරට ආරම්භ කිරීම ඵලදායි ආරම්භයක් බව පැවසුවාය.මෙවැනි මහාපරිමානයේ කර්මාන්ත චීනයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ඒම තුලින් ඇමරිකානු සෘජු විදේශ ආයෝජන ශ්‍රීීීි ලංකාව ආකර්ෂණය කර ගැනීමේ වැඩි ප්‍රවනතාවයක් පෙන්නුම් කරන බවද සදහන් කළාය.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ චන්ග් මහත්මිය මේ වනවිටත් අමරිකාව ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන දිශානතියයි. විශේෂයෙන් ඇමරිකානු සෘජු ආයෝජන ශ්‍රී ලංකාවට පැමිණීම රටෙහි ද්වි පාර්ෂික වෙළද කටයුතු වඩාත් සතුටුදායික මට්ටමකට පැමිණිම අපේක්ෂා කළ හැකිය.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා අදහස් දක්වමින් AmSafe BirdPort සමාගම ඉංජිනේරුමය රෙදිපිළි විසඳුම් සැලසුම් කිරීම සහ නිෂ්පාදනය කිරීම ඇතුළත් කිරීම සඳහා එහි නිෂ්පාදන විවිධාංගීකරණය කර ඇති අතර සමාගම 2012 සිට 2023 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව තුල සිය ආයෝජන සිව් ගුණයක වර්ධනයක් අත්කර ගැනීම රජය ලෙස පැසසුමට ලක්විය යුතු බව පැවසීය. AmSafe BirdPort සමාගම SHIELD සමාගම හා එක්ව අපනයනය විවිධාංගිකරණය කිරීම පමණක් නොව නව අපනයන වෙළදපොල ජයග්‍රහණය කිරීමද පැසසුමට ලක්විය යුතු බව අවධාරණය කෙරිනි.
    SHIELD සමාගම ප්‍රකාශ කළේ ඔවුන්ගේ චීන නිෂ්පාදන කර්මාන්ත සඳහා වෙනත් රටක් සොයා ගැනීම සඳහා අධ්‍යයනයක් ආරම්භ කළ බවයි. ඉන්දියාව, මෙක්සිකෝව සහ මැලේසියාව වැනි රටවල් කෙරෙහිද අවධානය යොමු කළත්, මෙරට ක්‍රියාත්මක AmSafe Bridport සමාගම වෙතින් ලැබුණ දැඩි දිරිගැන්වීම් සහ ඔවුන් අත්පත් කරගෙන ඇති ඉතා සාර්ථකත්වය පිළිබදව විමර්ෂණාත්මකව බැලූ පසු ශ්‍රී ලංකාවට පැමිණි සුදුසු බව තීරණය කළ බවයි.
    එක්සත් ජනපදය විසින් චීනය මත පනවා ඇති 301 වගන්තියේ තීරුබදු ප්‍රතිපත්තිය මත චීනය තුල ක්‍රියාත්මක ඇමරිකානු සමාගම් වෙනත් රටවල් කරා ඇදෙමින් පවතී. ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක ආයෝජන හිතකාමී පරිසරය හේතුවෙන් SHIELD නිෂ්පාදන කම්හල් චීනයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ඒමට ඔවුන් තීරණය කර ඇත.

    සිය චීන නිෂ්පාදන කර්මාන්ත වලින් 100%ක්ම ශ්‍රී ලංකාවට ගෙන ට කටයුතු කරන බව SHIELD සමාගම පවසයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ සැලකිය යුතු වර්ධනයක් අපේක්ෂා කරන බවද ඔවුන් පවසයි.

    මෙහිදී අදහස් දැක්වූ SHIELD සමාගමේ සභාපති ඩෙනිස් පර්සල් ( Dennis Pursel)මහතා මානව ආරක්ෂාව සඳහා වන සෑම යෙදවුමක් සඳහාම විසඳුම් සපයන්නෙකු ලෙස SHIELD සමාගම වසර 74කට වැඩි කාලයක සිට පෙරමුණ ගෙනඇති බව පැවසීය. SHIELD ළමා ආසන, උපයෝගිතා වාහන, වාණිජ ට්‍රක් රථ, RVs, මෝටර් කෝච්, පාසල්/සංක්‍රමණ බස් රථ සහ ඉදිකිරීම්/කෘෂිකාර්මික උපකරණ වැනි විවිධ යෙදුම් සඳහා උපාංග සපයයි. තවද, ස්වයංක්‍රීය ඉහළ සහ අඩු පරිමාවක්/මිශ්‍ර ගෝලීය මෙහෙයුම් සහිත උසස් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන සමාගම ඔබට සුදුසු වටිනාකමට හොඳම පන්තියේ ගුණාත්මක භාවයෙන් යුතු මෙවලම් නිපදවයි. මෙම සමාගම වසරකට ඒකක මිලියන 20 කට වඩා නිෂ්පාදනය කිරීමට නවතම මෙවලම් සහ ක්‍රියාවලීන් භාවිතා කරන බව හෙතෙම පැවසීය.

    නව කර්මාන්ත ශාලාව සදහා ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 8.5 ක් වන අතර එමඟින් ශ්‍රී ලාංකිකයන් 500 කට සෘජු රැකියා අවස්ථා නිර්මාණය වේ.

    නිෂ්පාදිතය උසස් තත්ත්වයේ සංකේතයකි (Best-in-Class Quality) සහතිකය සමඟින්, සමාගමේ ක්‍රියාවලි ISO9001 සහ IATF16949 ප්‍රමිතීන් මත නිෂ්පාදනය වේ. සමාගම තම නිෂ්පාදන සඳහා නියාමන ප්‍රමිතීන් ඉක්මවා ක්‍රියාත්මක බව සමාගම පවසයි.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙරටට ආයෝජන ගෙන ඒම පමණක් නොව,නූතන තාක්ෂණ පෙරලියේ නවතම කර්මාන්ත 4.0 නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුකූල පරිසර හිතකාමී කර්මාන්ත ස්ථාපිත කිරීමට කැපවී සිටී. ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට අවශ්‍ය කුසලතා සහ කුසලතා ඉහළ නැංවීමේ අවස්ථා ද සපයමින් බුද්ධි ගලනය පසුගාමි කරවන මෙවැනි ඉහල වැටුප් ලබාදෙන රැකියා අවස්ථා නිර්මාණය කිරීමටද කටයුතු කරයි.