ඩොලර් වෙනුවට යුවාන් ගිවිසුම ගැන මහ බැංකු අධිපතිවරයා කතා කරයි

    September, 17, 2014

    චීන මහ බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර අත්සන් කළ අන්‍යෝන්‍ය මූල්‍ය ඒකක හුවමාරු කිරීමේ ගිවිසුම (Swap Agreement) මගින් දෙරට අතර යුවාන් සහ රුපියල් වලින් ගනුදෙනු කිරීම ප්‍රවර්ධනය කිරීමට අරමුණු කර තිබෙන බවත් චීන වෙළඳ සබඳතා තර කර ගැනීමට මෙය පිටුවහලක් වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි.

    අප සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ මෙම ගිවිසුමට අනුව යුවාන් බිලියන 10 ක් චීනය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදෙන බවත් මෙරට විදේශ සංචිතය තර කිරීමට එම මුදල් යොදා ගන්නා බවයි.

    චීනය විසින් ලබාදෙන මෙම මුදල් වෙනුවෙන් ලංකාව විසින් චීනයට රුපියල් බිලියන 225 ක මුදලක් ලබාදෙයි.

    “මෙය ණය මුදලක් නෙවෙයි. යුවාන් බිලියන 10 ක් ලැබෙන නිසා ඩොලර්, පවුම්, යෙන් වලින් වගේම සෘජුවම යුවාන් හා රුපියල් වලින් දෙරට අතර ගනුදෙනු කරන්න පුළුවන්. ඉදිරියේදී චීන සංචාරකයින්ට ලංකාවේදී යුවාන් වලින් හෝටල් වලට ගෙවීමට වැඩි අවස්ථාවක් මේ නිසා ඇති වෙනවා.“

    “දැනට ලංකාවේ හෝටල් විසින් ඩොලර් ලබාගන්නයි වැඩි කැමැත්තක් තිබෙන්නේ. චීන සංචාරකයින් වැඩිපුර ගෙන්වා ගැනීමට නම් ඔවුන්ට තම මුදල් ඒකක වලින්ම ලංකාවේදී ගෙවීම් කිරීමේ අවස්ථාව වැඩිකළ යුතුයි. ඒ වගේම ලාංකිකයින්ට චීනයේදී රුපියල් වලින් ගෙවීම සඳහා මෙම ගිවිසුම නිසා අවස්ථාව ලැබේවි. මෙය දෙරට අතර වෙළඳාම තම මුදල් ඒකක වලින්ම සිදුකිරීමේ ඇරඹුමක්.“

    යනුවෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේය.

    මෙම ගිවිසුම වසර 03 ක් සඳහා වලංගු වේ.