ඩොලර් ශත 8.25ක ඒකක ගාස්තුව ගැන අදානි ශ්‍රී ලංකා ව්‍යාපෘති ප්‍රධානියා මෙසේ කියයි

    July, 9, 2024

    අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල සුළං බලාගාර පිහිටුවීමට යෝජනා ඉදිරිපත් කර ඇත. එහිදී සමාගම විසින් ඇමරිකානු ඩොලර් ශත 8.25ක අවම ඒකක ගාස්තුවක් ඉදිරිපත් කර තිබේ. මේ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව ඇත.

    කෙසේවෙතත් මේ වන විට අදාළ ඒකක ගාස්තුව සම්බන්ධයෙන් පාර්ශව කිහිපයකින්ම විරෝධතා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් කළ විමසීමක දී Adani Power Ltd හි කළමනාකාර අධ්‍යක්ෂක මෙන්ම අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ ශ්‍රි ලංකා ව්‍යාපෘතියේ ප්‍රධානියා වන අනිල් සර්දනා (Anil Sardana) මහතා කියා සිටියේ, අදානි සමාගම විසින් පිරිනමා ඇති මෙම ඒකක ගාස්තු ඔවුන්ගේ වසර 20ක සම්පූර්ණ කොන්ත්‍රාත්තු කාලය සඳහාම වලංගු බවයි. අනෙකුත් බලශක්ති සමාගම් ආරම්භයේදී අවම මිල ගණන් ඉදිරිපත් කර පසුව ගාස්තු ඉහළ නංවා පාරිභෝගිකයන් පීඩාවට පත්කරන බවද අවධාරණය කරමින් ගාස්තුවල විනිවිදභාවයේ අවශ්‍යතාවය ඔහු මෙහිදී පැහැදිලි කළේය.

    “විනිවිදභාවය ඉතා වැදගත්. ඔවුන් යම් මුදලක් අය කරනවා නම් එය ලිඛිතව ඉදිරිපත් කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් වෙනත් සැඟවුණු කරුණු තිබිය නොහැකියි. ඉදිරි වසර 20 තුළ අපි කිසිදු වෙනසක් නොමැතිව ස්ථාවර ගාස්තුවක් පිරිනැමිය යුතුද?, නැතහොත් අනාගතයේදී අමතර ගාස්තු සමඟ දෙගුණයක් විය හැකි අඩුම ගාස්තුවක් දැනට ඉදිරිපත් කළ යුතුද? ඇත්තෙන්ම මෙම උභතෝකෝටිකය විචාරාත්මකව දකින පුද්ගලයන් එය ලබාදිය යුත්තේ කාටද සහ කුමන කාල රාමුවක් තුළදී ද යන්න පිළිබඳ දැනටමත් අවබෝධ කරගෙන තිබෙනවා.“ යනුවෙන් සර්දනා මහතා ප්‍රකාශ කළේය.

    ඉන්දියාවේ අහමදාබාද් හි අදානි සමූහ ව්‍යාපාරයේ ගෝලීය ආයතනික මූලස්ථානයේදී ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් පිරිසක් සමඟ පැවති හමුවක දී, Adani Power Ltd හි කළමනාකාර අධ්‍යක්ෂක හා අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ ශ්‍රි ලංකා ව්‍යාපෘතියේ ප්‍රධානියා වන අනිල් සර්දනා මහතා මේ බව අවධාරණය කළේය.

    අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල සුළං බලාගාර පිහිටුවීමට යෝජනා ඉදිරිපත් කර ඇත. මෙගාවොට් 484ක සමුච්චිත ස්ථාපිත ධාරිතාවක් උත්පාදනය කරමින් ඩොලර් බිලියනකට අධික සමස්ත ආයෝජනයක් සමඟ ආරම්භ කිරීමට අපේක්ෂා කරන මෙය රටේ විශාලතම ස්ථාවර විදෙස් ආයෝජනය වනු ඇත.

    අදානි සමාගම ශ්‍රී ලංකාවේ විදුලිබල අංශයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී සිටින බවත් මෙරට නිපුණතා සහ පරිසර පද්ධති සංවර්ධනයට ද අත්වැලක් වෙමින් ව්‍යාපෘතියේ ඉදිකිරීම් සහ මෙහෙයුම් මෙන්ම නඩත්තු යන අංශයන්හි ශ්‍රම බලකාය සඳහා අවම වශයෙන් 95%ක් මෙරටින් බඳවා ගැනීමට අපේක්ෂා කරන බවත් මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් සර්දනා මහතා කියා සිටියේය.