October, 20, 2025
දිවයින පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත කෙරෙමින් තිබෙන තම සිල්ලර අලෙවිහල් ජාලය හරහා පාරිභෝගිකයින් වෙත ණයවර කොන්දේසි (credit terms) හඳුන්වා දීමට සහ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා ගෙවීම් සිදු කිරීමේ පහසුකම් ලබා දීමට ඇළුමිනියම් එක්ස්ට්‍රෘෂන් (aluminium extrusion) සඳහා වසර 35ක කාලයක් තිස්සේ මෙරට පුරෝගාමී සන්නාමය වන ලංකා ඇළුමිනියම් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී (Lanka Aluminium Industries PLC) පියවර ගනී.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ඇළුමිනියම් හි සභාපති ඩිනාල් පීරිස් පවසන්නේ, “සිල්ලර අලෙවිහල්වල බහුලව අළෙවි කෙරෙන වඩාත් සාමාන්‍ය ගෘහනිර්මාණ ද්‍රව්‍ය හා ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා වන ඉල්ලුම වර්ධනය වෙමින් තිබෙන බව අපට පෙනී ගොස් තිබෙනවා. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම සඳහා, රටපුරා පිහිටි අපගේ සිල්ලර අලෙවිහල් ජාලය හරහා තෝරාගත් පාරිභෝගිකයින් වෙනුවෙන් ණයවර කොන්දේසි වගේම ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගෙවීමේ පහසුකම ලබාදීමත් සිදු කරනවා, ” යනුවෙනි.
ලංකා ඇළුමිනියම් මේ දක්වා ඇළුමිනියම් එක්ස්ට්‍රෘෂන් විසඳුම් ලබාදී ඇති මෙරට පිළිගත් හා සංකේතාත්මක ගොඩනැගිලි අතරට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකොට ඇති ගොඩනැගිලි ගණනාවක්ම අයත් වේ. එමෙන්ම, තාක්ෂණික සහාය, සුළං බල ගණනය කිරීම් (wind load calculations) හා එකලස් කිරීමේ සටහන් (assembly drawings) සපයමින් සේවාලාභීන් හට තවදුරටත් සහාය ලබා දෙයි.
මහල් ගොඩනැගිලි අංශයෙහි වර්ධනයක් සිදු නොවීම හේතුවෙන් සිල්ලර අංශය වෙත වැඩි අවධානයක් යොමු කිරීමට සමාගම තීරණය කොට ඇත.
“අප සතුව ඇති ප්‍රබල තාක්ෂණික කුසලතාවන් භාවිතා කිරීමටත්, අපගේ පුළුල් දොර හා ජනේල එකතුව අතරින් මිල අධිකම නිෂ්පාදනය වෙනුවට වඩාත්ම සුදුසු නිෂ්පාදනය පාරිභෝගිකයින්, විශේෂයෙන් නිවාස ඉදිකරන්නන්, වෙනුවෙන් තෝරාදීමටත් අපි සහාය වෙනවා, ” යැයි ලංකා ඇළුමිනියම් හි සිල්ලර අලෙවි ප්‍රධානී සුසන්ත පරණගම පැවසීය.
“ඒ හරහා හොඳම නිෂ්පාදනය ලබාගැනීමට මෙන්ම මුදල් ඉතිරි කරගැනීමට ද පාරිභෝගිකයින්ට උදව් වෙන අතර, එමගින් ඔවුන්ගේ විශ්වාසය හා පැහැදීම ගොඩනැංවීම සිදු කෙරෙනවා. ඔවුන්ට අවශ්‍ය එකලස් කිරීමේ සටහන් (assembly drawings) වගේම සුදුසු නිර්මාණකරුවන් (fabricators) හඳුන්වාදීමත් අප සිදු කරනවා, ” යනුවෙන් ඔහු කියා සිටියේය.
“අපගේ වටිනා පාරිභෝගිකයින් වෙත මෙම සේවා හා පහසුකම් නොමිලයේ ලබාදී ඔවුන් සමග දීර්ඝකාලීන සබඳතා ගොඩනංවා ගනිමින්, විශේෂයෙන් නිවාස ඉදිකරන්නන් අතර ඇළුමිනියම් දොරවල් හා ජනේල භාවිතය වර්ධනය කරගැනීමට පුළුවන්, ” යැයි ද ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කර ඇති ප්‍රසිද්ධ සමාගමක් වන ලංකා ඇළුමිනියම් ගෘහනිර්මාණ, දෘඩාංග, ප්‍රවාහන සහ විශේෂිත යෙදවුම් අංශ සඳහා උසස් ප්‍රමිතියේ ඇළුමිනියම් එක්ස්ට්‍රෘෂන් නිපදවීමෙහිලා විශිෂ්ටත්වය ලබා සිටී. නවෝත්පාදනය හා සැලසුම් නිර්මාණයෙහි ප්‍රමුඛයා වන මෙම සමාගම, ලොව පුරා පිහිටි ඇළුමිනියම් එක්ස්ට්‍රෘෂන් නිපදවන සමාගම් කිහිපයක් සමග සම්බන්ධව සිටිමින් ක්ෂේත්‍රයේ නවතම දිශානතීන් පිළිබඳව පූර්ණ අවබෝධයෙන් කටයුතු කරයි. එහි නිෂ්පාදන බ්‍රිතාන්‍ය සහ අනෙකුත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව යමින් නිපදවනු ලැබේ.
ඡායාරූප ශීර්ෂය: ඩිනාල් පීරිස් - සභාපති, ලංකා ඇළුමිනියම් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී