ණය තොරතුරු සේවා සැපයුම්කරුවන් පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    February, 22, 2017

    දැනට ශ්‍රී ලංකාවේ ණය තොරතුරු සැපයීමට අධිකාරි බලයලත් එකම ආයතනය ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය වන අතර, පෞද්ගලික ණය තොරතුරු සැපයුම්කරුවන් මඟින් වෙළඳ පොළ ආර්ථිකය සඳහා ඇති කළ හැකි සාධනීය බලපෑම රජය විසින් හඳුනාගනු ලැබ තිබේ.

    ඒ අනුව, නිවැරදි ණය තොරතුරු රැස් කිරීමේ හා බෙදා හැරීමේ කාර්යය සඳහා ණය තොරතුරු සේවා සැපයුම්කරුවන් වෙත බලපත්‍ර නිකුත් කිරීමටත්, ඔවුන් නියාමනය කිරීමට හා අධීක්ෂණය කිරීමට අදාළව විධිවිධාන සැලසීමටත් සකස් කරනු ලැබ ඇති 'ණය තොරතුරු සේවා පනත් කෙටුම්පත', ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ණය අයදුම්කරුගේ පෙර ණය ලබාගැනීම් පිළිබඳ විස්තර පදනම් කරගනිමින් වඩා හොඳ තීරණවලට එළඹීමේ හැකියාව මඟින් ණය ආයෝජනවල තත්ත්වය වැඩිදියුණු කරගත හැකිය. එසේම ණය ගෙවීම පැහැර හැරීමේ ප්‍රවණතාවද එමඟින් අවම කරනු ලබන හෙයින් ණය සඳහා වන වියදම අඩු වන අතර, එහි ප්‍රතිලාභය ණය ගැනුම්කරුවන් වෙත ලබා දිය හැකි වේ.