July, 29, 2016
පවතින තත්ත්වයන් හි වෙනස්කම් සිදුවන විට ඊට අනුරූප ලෙසින් තමා තම අදහස වෙනස් කරගන්නා (When the facts change, I change my mind.) බව ප්‍රකට ආර්ථික විද්‍යාඥ ජෝන් මෙනාඩ් කේන්ස් පවසා තිබෙන බවත් එය තමා මෙහිදී ප්‍රකාශ කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද පෙරවරුවේ මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේ, මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට පියවර ගනු ලැබුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එල්ල වන පීඩනය නිසා දැයි මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ දීය.
2016 ජූලි මුදල් ප්‍රතිපත්ති විවරණය අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 7% දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 8.5% දක්වා පදනම් අංක 50 බැගින් ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය ඊයේ (28) සිට පියවර ගන්නා ලදී.
පුද්ගලික අංශයේ ණය වර්ධනය බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉහළ අගයක් ගැනීමත් ස්ථාවර ගේවුම් ශේෂයක් හා මෙම වසරේ දී අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය 5% මට්ටමේ සහ උද්ධමනය තනි ඉලක්කමක පවත්වා ගැනිම යනා දී කරුණු මූලික කරගනිමින් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ වසරේ පළමු මාස 06 තුළ දී ෆිස්කල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම හොඳ තත්ත්වයක පැවති බවයි. වැට් බදු සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ලබා දීම නිසා රජයේ ආදායම් එකතු කිරීමේ ගැටළුකාරී තත්ත්වයක් පැන නැගී ඇති බවත් කෙසේ වෙතත් වැට් සම්බන්ධ ලියවිල්ල අගෝස්තු 11 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
“මහ බැංකුව හරියට වෛද්‍යවරයෙක් වගෙයි. රෝගියාට අවශ්‍ය වන්නේ රෝගය කලින් හඳුනාගනෙ ඊට ප්‍රතිකාර යෙදීමයි. ඔබ ප්‍රතිකාර ප්‍රමාද කරනවා නම් පසුව විශාල ශල්‍යකර්මයකට මුහුණ දෙන්නට සිදුවේවි“, යැයි ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් මහ බැංකුව ගන්නා තීන්දු තීරණ පිළිබඳව අධිපති ආචාර්ය කුමාරස්වාමි මෙහිදී කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකිය.
https://www.youtube.com/watch?v=gQvjdPMTZ_U
2016 ජූලි මුදල් ප්‍රතිපත්ති විවරණය සම්පූර්ණයෙන් පහත දැක්වේ.