තවත් ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරිකයෙකු දිවිසැරිය නිමකරයි

    February, 16, 2025

    මෙරට ප්‍රමුඛ පෙළේ තේ අපනයන සමාගමක් වන අක්බාර් බ්‍රදර්ස් හි සමාරම්භක සාමාජිකයෙකු වූ ඉනයට් අක්බාර්අලි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 88 වැනි වියෙහි පසුවිය.

    1969 වසරේ දී අබ්බාස්, අබීඩ් සහ ඉනයට් යන අක්බාර්අලි සොහොයුරන් තිදෙනා එක්ව අක්බාර් බ්‍රදර්ස් ව්‍යාපාරය ආරම්භ කරන ලදී.

    එතැන් සිට අද දක්වාම 'සිලෝන් ටී' සන්නාමය ලොවට ගෙන යාමේ දී සුවිශේෂී දායකත්වයක් ලබා දීමට අක්බාර් බ්‍රදර්ස් සමත් වී ඇත. වරක් ලොව විශාලතම තේ අපනයනකරුවා ලෙසින් ද 'අක්බාර් බ්‍රදර්ස්' ස්ථානගත වූයේ මෙරට තේ අපනයන කර්මාන්තය වෙනුවෙන් සිය දායකත්වය මනාව පිළිබිඹු කරමිනි.

    අද වන විට තේ අපනයන කර්මාන්තයෙන් ඔබ්බට ගොස් පුනර්ජනනීය බලශක්ති, සෞඛ්‍යසේවා, ඇසුරුම්කරණ, දේපළ සංවර්ධන, පරිසරික සේවා, හෝටල් හා ආගන්තුක සත්කාර, ආයෝජන සහ කෘෂිකාර්මික යනා දී වශයෙන් කර්මාන්ත ක්ෂේත්‍ර ගණනාවක සිය ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට අක්බාර් බ්‍රදර්ස් කටයුතු කර ඇත.

    ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබාදුන් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් තිදෙනෙකුගේම අභාවයන් 2025 පෙබරවාරි පළමු සතිය තුළ වාර්තා වීම විශේෂත්වයකි.

    මෙල්ස්ටාකෝප්, එයිට්කන් ස්පෙන්ස්, ඩිස්ටිලරීසී කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා යන සමාගම්වල සභාපතිවරයා වූ දේශමාන්‍ය හැරී ජයවර්ධන (82) මහතා 2025 පෙබරවාරි 03 වන දින අභාවප්‍රාප්ත වූ අතර එදිනම, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර (84) මහතාගේ අභාවය ද සිදුවිය. මේ අතර ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ හේමක ද අල්විස් (55) මහතාගේ අභාවය පිළිබඳ පුවත ඊට පසුදා (04) අසන්නට ලැබුණි.

    Video Story

    Stock Market

    Exchange Rates