තවත් මුදල් අමාත්‍යවරයකුට රටේ ආර්ථිකය ගොඩනැගීම දුෂ්කර කටයුත්තක් වීමට ඉඩ තැබීමට සූදානම් නැහැ – මුදල් ඇමති

    September, 8, 2016

    ජාතිය ගොඩනැගීමේ හා ආර්ථික සංවර්ධන කාර්යයේ දී බුද්ධිමතුන්ගේ දායකත්වය යහපාලන රජය බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා­ පෙන්වා දෙන්නේ එමගින් වඩාත් ස්ථිරසාර සංවර්ධන ගමනක නිරත විය හැකි බවයි.

    2017 ජාතික අයවැය සැකසීමේ දී “පුරවැසි දායකත්වය”යන මැයෙන් මිලෝදා ආයතනයේ දී ඊයේ (07) පැවැති සමුළුවක් අමතමින් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව පැවැසීය.

    දිවයිනේ විශ්වවිද්‍යාල 12ක් නියෝජනය කරමින් මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර රටේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි ජනතා අදහස් ලබාගෙන, කුමන අංශවලින් රට සංවර්ධන යළ යුතු ද යන්න පිළිබඳ සමීක්ෂණය කිරීමට අදාළ සැලසුම ද මෙහි දී සාකච්ඡාවට ගැණින.

    සමුළුව අමතමින් රවී කරුණානායක මහතා කියා සිටියේ රටේ විශ්වවිද්‍යාල වෙත වාර්ෂිකව විශාල පිරිසක් ඇතුළු වන බවත්, ඊට සමාන පිරිසක් ඉන් පිටවන බවත්ය. මෙම පිරිස රටේ රැකියා ඉල්ලුමට සරිලන පරිදි, ශිල්ප කෞෂල්‍යන්ගෙන් යුක්ත පිරිසක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව හෙතෙම කීය.

    වෘත්තීය දක්ෂතා අත්‍යාවශ්‍ය බවත්, විවිධ ප්‍රශ්න හා ගැටලු නිර්මාණයවීම ස්වභාවික කරුණක් බවත්, ඒවා මධ්‍යයේ, රට සංවර්ධනය කරා ගමන් කරවීමට බුද්ධිමතුන්ගේ සහයෝගය අවශ්‍ය බවත් අමාත්‍යවරයා පැවැසීය.

    වැඩි දුරටත් අදහස් දැක් වූ රවී කරුණානායක මහතා -

    “වෙනසක් සිදු කිරීමේ දී අභියෝගවලට ලක් වීම ස්වභාවිකයි. දැඩි තීරණ ගැනීමට ඇතැම් අවස්ථාවල දී සිදු වෙනවා. රට වෙනුවෙන් එවැනි තීරණ ගැනීමට පැකිළිය යුතු නැහැ. පොහොර සහනාධාරය වෙනස්කම්වලට ලක් කිරීමට යාමේ දී විවිධ ගැටලු මතු වුණා.

    නමුත් ඉන් බලාපොරොත්තු වුණේ අතරමැදියන්, වංචනිකයන් මෙන් ම එහි පැවති ප්‍රායෝගික නොවන තත්ත්වයන් ඉවත් කිරීමටයි. එමගින් සහනාධාරය ලැබිය යුතු ම ගොවියාට එම මුදල් ලැබෙනවා. මේ ආකාරයට වෙනස් කළ යුතු බොහෝ දේ තිබෙනවා. සමෘද්ධිය එබඳු මහජන මුදල් විනාශ කරන මහා ව්‍යාපෘතියක්. ආධාර ලැබිය යුතු පුද්ගලයාට ලැබෙන්නෙ සොච්චමයි. වෙනත් දේශපාලන හෙන්චයියන් හා ඔවුන්ගේ ගැත්තන් සමෘද්ධි මුදල් ලබා ගන්නවා. මෙය වෙනසකට ලක් කර නියමිත පුද්ගලයන්ට ඒවා ලබා දී රටේ සංවර්ධන ඉලක්ක කරා ඔවුන් යොමු කරවීම අද තිබෙන අත්‍යාවශ්‍ය කටයුත්තක්. බුද්ධිමතුන් ඔවුන්ගේ දැනුම මෙබඳු ක්‍රියාවලීන් නියාමනය කිරීමට යොදවිය යුතුයි.

    රටේ මුල්‍ය තත්ත්වය වසරින් වසර ස්ථාවර තත්ත්වය පත් වෙමින් තිබෙනවා. අයවැය පරතරය ක්‍රමයෙන් අඩුකරමින් බලාපොරොත්තු වූ ජාතික අරමුණ කරා ගමන් කරමින් සිටිනවා.

    මෙරට පැවැති යුද්ධය තවත් හමුදාපතිවරයකුට භාර නොදෙන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වරක් ප්‍රකාශ කළා. ඒ ආකාරයට මෙරට පත්වන තවත් මුදල් අමාත්‍යවරයකුට රටේ ආර්ථිකය ගොඩනැගීම දුෂ්කර කටයුත්තක් වීමට ඉඩ තැබීමට සූදානම් නැහැ.

    රටේ ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය හා අනෙකුත් පහසුකම් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමා වෙත ලබා දී තිබෙනවා. රටට ආදරය කරන පොදු මහජනතාව මෙම ජනාධිපතිවරයා පත් කර බලාපොරොත්තු වූ රට, ගොඩනැගීමට කැපවනවා. ඒ සඳහා බුද්ධිමතුන්ගේ නොමසුරු සහය රජය වෙත ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා”යැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

    මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රුවන් චන්ද්‍ර, ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිමුතු සමරතුංග, මිලෝදා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අනුර ලොකුහෙට්ටි යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාව එක් වූහ.