September, 15, 2016
ශ්‍රී ලංකා යුධ හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා ධාවකයින්ගේ සහ පැදිකරුවන්ගේ සංගමය (SLARDAR) සහ සියැට් ශ්‍රී ලංකා ඒකාබද්ධව සංවිධානය කරන "Commando Challenge" තරඟාවලිය මෙවරද පැවැත්වීමට සැලසුම් කෙරේ.අභියෝගාත්මක සුපර්ක්‍රොස් තරඟයකින් සහ දින තුනක ගවේශණාත්මක ධාවනයකින් මෙම තරඟාවලිය සමන්විත වෙයි. මේ අතුරින් ගවේෂණාත්මක ධාවනය ඔක්තෝබර් 3 වනදා සිට 5 වනදා දක්වා පැවැත්වෙන අතර සුපර් ක්‍රොස් තරඟාවලිය ඔක්තෝබර් 9 වනදා පැවැත්වෙයි.
"කමාන්ඩෝවරුන් සමඟ පැදයන්න " යන තේමාව යටතේ මෙවර ගවේශණාත්මක ධාවනය පැවැත්වෙන අතර එහිදී රිවර්ස්ටන්, සහ හුන්නස්ගිරිය ආදී කඳුකර ප්‍රදේශ වල ධාවනය කිරීමේ අත්දැකීම ලබා ගැනීමට සහභාගි වන්නන්ට අවස්ථාව හිමිවෙයි. ඉන් අනතුරුව සුපර්ක්‍රොස් තරඟාවලිය ඌව කුඩාඔය පිහිටි කොමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසැලේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ විවිධ භූවිෂමතා ලක්ෂණ ආවරණය කරමින් අභියෝගාත්මක ලෙස රිය ධාවනය සඳහා අවස්ථාව පිරිනැමීම ගවේෂණාත්මක ධාවනයේදී සිදුකෙරේ. මෙහි ගමන් මාර්ගය වන්නේ මහනුවර, වත්තේගම, සෙම්බුවත්ත ලොග්ගල් ඔය, මහියංගනය, සොරබොර වැව, මහඔය, දමන, ආරුගම්බේ හරහා ඌව කුඩාඔය දක්වා වන මාර්ගයයි. කිලෝමීටර් 566ක් ආවරණය වන පරිදි මෙම ධාවන මාර්ගය සකසා තිබේ. මේ අතුරින් පළමු දිනයේදී කිලෝමීටර් 166 ක් ආවරණය කරමින් මහනුවර සිට උල්හිටිය දක්වා ගමන් ගන්නා අතර දෙවන දිනයේදී උල්හිටිය සිට ආරුගම්බේ දක්වා කිලෝමීටර් 260 දුරක්ද, තෙවන දිනයේදී ආරුගම්බේ සිට ඌව කුඩාඔය දක්වා කිලෝමීටර් 140 ක දුරක් ගමන් කිරීමට නියමිතව තිබේ.
විදේශිකයින්, ශ්‍රී ලාංකේය ත්‍රාසජනක ධාවන ක්‍රීඩකයින් ආදීන් සඳහා විවෘත මෙම තරඟ ඉසව්ව සදහා ක්‍රීඩා වෙනුවෙන් යොදාගන්නා රථ හෝ ඒ ආකාරයට සැකසූ රථ භාවිත කළ හැකිවෙයි.සුපර්ක්‍රොස් ධාවන ඉසව්ව මෙරට දිගම සහ වේගවත්ම ධාවන පථය ලෙස සැලකෙන කිලෝමීටර් 1.68ක් දුර ඌව කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසැලේ ධාවන පථයේදී ඔක්තෝබර් 9 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා ධාවකයින්ගේ සහ පැදිකරුවන්ගේ සංගමය (SLARDAR) හා එක්ව සංවිධානය කළ "Commando challenge" තුළින් කමාන්ඩෝ අත්දැකීම් අත්විඳින්නට සැමට අවස්ථාව හිමිවන බව කමාන්ඩෝ රෙජිමේන්තුව පෙන්වා දෙයි. ක්‍රියාකාරකම් රැසකින් සමන්විත මෙම ධාවන තරඟාවලියෙන් ලැබෙන ආදායම කමාන්ඩෝ රෙජිමේන්තුවේ සුභසාධන කටයුතු සඳහා යොදාගැනීමට අපේක්ෂිත ය. තවද කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසැල පිහිටි ඌව කුඩාඔය ප්‍රදේශය කෙරෙහි සංචාරක ආකර්ශනය වැඩි වශයෙන් යොමුකරවා ගනිමින් එය ප්‍රදේශයේ ආර්ථික වර්ධනය සඳහා යොදාගැනීම ද මෙහි තවත් අරමුණකි. බස්නාහිර, මධ්‍යම, නැගෙනහිර සහ ඌව යන පලාත් 4ක් යා කරමින් පැවැත්වෙන මෙම තරඟාවලියට එක්වන සහභාගිවන්නන්ට දිවයිනේ සුන්දරත්වය මැනවින් දැකබලා ගැනීමටද අවස්ථාව සැලසෙයි. මෙම තරඟාවලියට සමගාමීව තවත් ක්‍රියාකාරකම් රැසක් ද සංවිධානය කෙරෙන අතර ඕෆ් රෝඩ් ධාවනය, කඳවුරු බැඳීම, සුන්දර ස්ථාන නැරඹීම, ඡායාරූප ගැනීම, බාබකියු සහ ගිණිමැල සංදර්ශන මෙන්ම සංස්කෘතිකාංග රැසක්ද සෑම දිනකම රාත්‍රියේ පැවැත්වෙයි.
ශ්‍රී ලංකා ධාවකයින්ගේ සහ පැදිකරුවන්ගේ සංගමයේ (SLARDAR)සභාපති නිෂාන් වාසලතන්ත්‍රී මහාතා පෙන්වා දුන්නේ කමාන්ඩෝ රෙජිමේන්තුව හා එක්ව මෙවැන්නක් සංවිධානය කිරීමට අවස්ථාව හිමිවීම සම්බන්ධයෙන් සතුට පළ කරන බවයි. මෝටර් රථ ධාවන ලෝලීන් වෙනුවෙන් තරඟ රැසක් සංවිධානය කර පළපුරුද්ද ලත් තම සංගමය ගවේෂණාත්මක ධාවනය දෙසට යොමු කරවූයේ මෙම තරඟාවලිය මඟින් බවත් හෙතෙම පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන නරඹමින් තරඟ කිරීමට අවස්ථාව ලැබෙන මෙම ධාවන තරඟාවලිය සඳහා සහභාගිවන්නන් විශාල පිරිසක් එක්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද හෙතෙම කීය.
"Commando Challenge" යන තේමාව යටතේ පැවැත්වෙන පැවැත්වෙන මෙම සුපර්ක්‍රොස් තරඟාවලිය ශ්‍රීලංකාවේ සුපර්ක්‍රොස් තරඟ ක්ෂේත්‍රයට නව මඟ පෙන්වීමක් ලබාදෙන අතර ශ්‍රී ලංකා ධාවකයින්ගේ සහ පැදිකරුවන්ගේ සංගමයේ (SLARDAR) හිටපු සභාපති හාන්ස් රැල්ෆ් කර්ප්‍රින්ස්කි මහතා විසින් ජාත්‍යන්තර මට්ටමේ ධාවන රැළිවලදී භාවිත කරන සම්මතයන්ට අනුව ධාවන මංතීරු සකසා තිබේ. මේ නිසා ඔක්තෝබර් 9 වන දින ඌව කුඩාඔය කමාන්ඩෝ පුහුණ පාසැල් ධාවන පථයේදී තරඟවදින තරඟකරුවන් දැඩි උනන්දුවකින් සහ උද්‍යෝගයකින් තරඟ කරනු ඇත.
ඡායාරූපය - සුපර්ක්‍රොස් සහ ගවේෂණාත්මක ධාවනය ඒකාබද්ධ වූ අවස්ථාවක්
Video Story