ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවල කුඩා වැව් පද්ධති දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිදි ගොඩනැගීම සඳහා ජපානයේ සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානෙයේ සහාය

    April, 9, 2026

    ශ්‍රී ලංකාවේ කුඩා වැව් ආශ්‍රිත පරිසර පද්ධතිවල ජල ඵලදායිතාව සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා ඩොලර් මිලියන 1.33ක නව ව්‍යාපෘතියක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) තාක්ෂණික සහාය සහ ජපන් රජයේ මූල්‍ය අනුග්‍රහය යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ.

    මාස 12ක කාලයක් (2026 මාර්තු - 2027 පෙබරවාරි) ක්‍රියාත්මක වන මෙම මූලික වැඩසටහන මගින් ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවල සාම්ප්‍රදායික කුඩා වැව් එල්ලංගා පද්ධති පුනර්ජීවනය කරනු ඇත. මේ හරහා කුඩා පරිමාණ ගොවීන් 400ක් පමණ සංඛ්‍යාවකට සෘජු ප්‍රතිලාභ සැලසෙනු ඇත. තවද, ජල කළමනාකරණය සම්බන්ධයෙන් වගකීම දරන දේශීය ගොවි සංවිධාන ශක්තිමත් කිරීම ද මෙමගින් සිදු වේ.

    අන්තර් සම්බන්ධිත ග්‍රාමීය ජලාශ 10,000කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත ශ්‍රී ලංකාවේ කුඩා වැව් පද්ධති වියළි සහ අතරමැදි කලාපවල වී වගාවේ කොඳු නාරටිය බඳු වේ. එහෙත්, දශක ගණනාවක් පුරා ප්‍රමාණවත් ආයෝජනයක් සිදු නොවීම, සොරොව් ආසන්නයේ රොන්මඩ තැන්පත් වීම, ජලජ වල් පැළෑටි ව්‍යාප්ත වීම සහ ඇළ මාර්ග විනාශ වී යාම හේතුවෙන් ඒවායේ ජල ගබඩා කිරීමේ ධාරිතාව සහ වාරිමාර්ග කාර්යක්ෂමතාව සැලකිය යුතු ලෙස අඩු වී තිබේ.

    මෙම නව වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ගරු කේ. ඩී. ලාල්කාන්ත මහතා මෙසේ ප්‍රකාශ කළේය. "අපගේ සාම්ප්‍රදායික එල්ලංගා පද්ධති ශ්‍රී ලංකාවේ පැරණි ඉංජිනේරු ප්‍රඥාවට කදිම නිදසුනක් වේ. අදටත් ග්‍රාමීය ජන ජීවිතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ද ඒවා ය. ජපානය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමඟ සිදු කරන මෙම කාලෝචිත සහයෝගිතාව මගින් එම පද්ධති යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇත. එසේම ජල ඵලදායිතාව වැඩිදියුණු කිරීමට මෙන්ම ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවල අපගේ ගොවි ප්‍රජාවගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට ද එය ඉවහල් වේ."

    මෙම නව ව්‍යාපෘතිය මගින් එල්ලංගා පද්ධති තුළ ඇති තෝරාගත් කුඩා වැව් සහ අමුණු යළි ගොඩනැගීම සිදු කෙරේ. තවද, ජල විද්‍යාත්මක ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ ජල ඵලදායිතාව මෙන්ම ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා දේශගුණයට හිතකාමී ජල කළමනාකරණ පිළිවෙත් හඳුන්වා දීම ද මෙහි දී සිදු කෙරෙනු ඇත.

    පහත දැක්වෙන මැදිහත්වීම් ඇතුළත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් මෙම ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කරනු ඇත:

    • ජල ගබඩා කිරීමේ ශක්‍යතාව යථා තත්ත්වයට පත් කිරීම සහ ජලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා ජලාශ පවිත්‍ර කිරීම සහ ආක්‍රමණශීලී ජලජ වල් පැළෑටි යන්ත්‍ර මගින් ඉවත් කිරීම.
    • වාරිමාර්ග ජල ප්‍රවාහය තහවුරු කිරීම සඳහා සොරොව් අසල ඉලක්කගත ලෙස රොන්මඩ ඉවත් කිරීම.
    • හානියට පත් ඇළ මාර්ග, වේලි, පිටවාන් සහ සොරොව් ආකෘති යළි ගොඩනැගීම.
    • ජල නිරීක්ෂණ පද්ධති සහ තත්කාලීන දේශගුණික දත්ත මෙවලම් හඳුන්වා දීම.
    • අතරමැදි තෙත් සහ සහ වියළි (AWD) වැනි වාරිමාර්ග ක්‍රම ඇතුළු දේශගුණයට හිතකාමී යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (CSGAP) ප්‍රවර්ධනය කිරීම.
    • ගොවි ක්ෂේත්‍ර පාසල් සහ ශක්තිමත් කරන ලද දේශීය ජල පාලන යාන්ත්‍රණ හරහා ශක්‍යතාව ගොඩනැගීම.

    ජපාන මූල්‍ය අනුග්‍රහය යටතේ මෑතකදී අවසන් වූ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වැඩසටහනකින් ලබා ගත් සාක්ෂි මගින් වැදගත් කරුණක් පෙන්වා දී තිබේ. එනම්, අතරමැදි තෙත් සහ සහ වියළි ජල පාලන ක්‍රමය සහ සංවේදක (sensors) මත පදනම් වූ වාරිමාර්ග ක්‍රම භාවිතයෙන් ජල පරිභෝජනය 35%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරගත හැකි බව සහ අස්වැන්න වැඩිදියුණු කරගත හැකි බවය. නව ව්‍යාපෘතිය විසින් මෙම සාර්ථකත්වය ඔප්පු වූ නවෝත්පාදනයන් ශ්‍රී ලංකාවේ දේශීය ජල කළමනාකරණ දැනුම සමඟ ඒකාබද්ධ කරමින් සාම්ප්‍රදායික එල්ලංගා පද්ධති තුළ තවදුරටත් පුළුල් කරනු ඇත.

    ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු අකියෝ ඉසොමාටා මහතා මෙසේ ප්‍රකාශ කළේය. "දේශගුණයට ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තය සහ ජල කළමනාකරණය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට ලැබීම ජපානයට ආඩම්බරයකි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමඟ අපගේ පෙර සහයෝගිතාවේ සාර්ථකත්වය මත මෙම ව්‍යාපෘතිය ගොඩනැගී තිබේ. සංවේදක මත පදනම් වූ වාරිමාර්ග වැනි නවෝත්පාදන තාක්ෂණයන් පුළුල් කිරීම සහ කුඩා වැව් පද්ධතිවල කාර්යක්ෂම ජල භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙමගින් සිදු කෙරේ. විශේෂයෙන් අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ඇතුළු ජනතාව ආරක්ෂා කිරීම සහ සවිබල ගැන්වීම මෙහි අරමුණයි. එමඟින් ඔවුන්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරමින් සහ ගෞරවාන්විතව ජීවත් වීමට අවස්ථාව ලබා දෙයි. ජපාන රජය සිය රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ වැදගත් කුලුනක් ලෙස අනුගමනය කරන 'මානව ආරක්ෂාව' යන සංකල්පය සමඟ මෙම ව්‍යාපෘතිය සඳහා ජපානයේ සහාය මැනවින් සමපාත වේ. තවද, ග්‍රාමීය ප්‍රජාවන්ගේ තිරසරභාවය සහ දිගුකාලීන සමෘද්ධිය සඳහා වන අපගේ හවුල් කැපවීම මෙම හවුල්කාරිත්වය මගින් පෙන්නුම් කරන බව ද අපි විශ්වාස කරමු."

    ජල භාවිතයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම හරහා වගා තීව්‍රතාව වැඩි කිරීම සහ වී අස්වැන්න ස්ථාවර කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ. පසෙහි සෞඛ්‍යය ඉහළ නැංවීම සහ දුර්ලභ මිරිදිය සම්පත් මත පවතින පීඩනය අඩු කිරීම ද මීට ඇතුළත්ය. වැඩිදියුණු කරන ලද ආහාර සුරක්ෂිතතාව සහ ආදායම් ස්ථාවරත්වය හරහා අතිරේක පවුල් සාමාජිකයන් 2,000ක් පමණ වක්‍රව ප්‍රතිලාභ ලබනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    වවුනියාව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල සුළු වාරිමාර්ග පද්ධති පුනර්ජීවනය කිරීම සඳහා ජපන් රජයේ මූල්‍ය සහාය අගය කරමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා මෙසේ ප්‍රකාශ කළේය. "සුළු වාරිමාර්ග මත පදනම් වූ පරිසර පද්ධති ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ කුඩා පරිමාණ ගොවීන්ගේ ජීවනෝපායට තීරණාත්මක ලෙස දායක වේ. මෙම ව්‍යාපෘතිය මගින්, යළි ගොඩනැගීම, දේශගුණයට හිතකාමී තාක්ෂණයන් සහ ගොවීන්ගේ ශක්‍යතාව ගොඩනැගීම සමඟ සාම්ප්‍රදායික යටිතල පහසුකම් ඒකාබද්ධ කිරීම සිදු කරයි. ඒ හරහා අඩු ජල ප්‍රමාණයකින් වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීමේ හැකියාව ප්‍රජාවට ලබා දෙමින් ගංවතුර සහ නියඟයන්ට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරයි."

    ජල විද්‍යාත්මක ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම, ජල හානිය අවම කිරීම සහ දත්ත මත පදනම් වූ වාරිමාර්ග මෙවලම් මගින් ගොවීන් සවිබල ගැන්වීම හරහා ශ්‍රී ලංකාව පුරා දේශගුණයට ඔරොත්තු දෙන කුඩා වැව් කළමනාකරණය සඳහා පුළුල් කළ හැකි ආකෘතියක් නිර්මාණය කිරීම මෙම මුලපිරීමෙහි අරමුණයි.

    අහිතකර ජලජ පැළෑටි, ත්‍රිකුණාමලය

    හානිවූ සොරොව්ව, වවුනියාව

    Video Story

    Stock Market

    Exchange Rates