තායිලන්තය විසින් පවත්වනු ලැබූ 13වෙනි HAPEX සහ ගෝලීය හලාල් සමුළුවට HAC ශ්‍රී ලංකා සහභාගී වේ

    September, 9, 2024

    ශ්‍රී ලංකාවේ හලාල් කවුන්සිලය (HAC), අගෝස්තු 30 වන දින තායිලන්තයේ Hat Yai හිදී පැවැත්වූ 13 වන HAPEX සහ ගෝලීය හලාල් සමුළුවට සහභාගී වෙන ලදී. තායිලන්ත රජය විසින්, කොළඹ රාජකීය තායි තානාපති කාර්යාලය ඔස්සේ HAC වෙත කරන ලද නිල ආරාධනයකට අනුව මෙම සහභාගී වීම සිදුවිය.

    සංචාරක, හෝටල් කලාව, සෞඛ්‍ය සත්කාර, සහතිකකරණය, පාලනය, සහ නීතිමය ක්ෂේත්‍ර නියෝජනය කරමින් සපැමිණි ක්ෂේත්‍ර ප්‍රවීණයන්, විද්වතුන් සහ සම්භාවනීය චරිත මෙම අවස්ථාව වර්ණවත් කළ අතර තායිලන්තය, ශ්‍රී ලංකාව, පකිස්ථානය, සෞදි අරාබිය, කටාර්, ඊජිප්තුව සහ තවත් බොහෝ රටවලින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි ජාත්‍යන්තර නියෝජිතයින්ද මෙයට සහභාගී වූහ.

    දකුණේ සිට වමට: තායිලන්තයේ හලාල් ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ සහකාර මහාචාර්ය Dr. Pakorn Priyakorn, ශ්‍රී ලංකා හලාල් කවුන්සිලයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී Mr. Aakif A. Wahab, ඊජිප්තුවේ කෘෂිකර්ම හා ඉඩම් ගොඩකිරීමේ අමාත්‍යාංශයේ ගීසා හි පශු වෛද්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානී Dr. Alaa Abdelall Elnemr, අධ්‍යක්ෂ රෙගුලාසි, පකිස්ථාන හලාල් අධිකාරිය Mr. Mohib Zama, තායිලන්තයේ Andaman Anatolia Technology College හි කළමනාකරු සහකාර මහාචාර්ය Sukree Langputeh.

    විද්වත් මණ්ඩලය විසින් සමුළුවට සහභාගී වූ රටවල හලාල් කර්මාන්තය පිළිබඳ විශ්ලේෂණයක් ඇතුළු මාතෘකා රැසක් සාකච්ඡාවට ලක් කළ අතර ඩොලර් ට්‍රිලියන 2ක ගෝලීය හලාල් වෙළෙඳපොළට පිවිසීම සඳහා අවශ්‍ය ගෝලීය ආර්ථික සහයෝගීතාව, උපාය මාර්ග ඇතුළුව කර්මාන්තයේ ඇති අවස්ථා සහ අභියෝග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

    තායිලන්තයේ හලාල් ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ සහකාර මහාචාර්ය Dr. Pakorn Priyakorn, තායිලන්තය හලාල් ආහාරවල ගෝලීය ප්‍රමුඛයෙකු බවට පත්වීමට 2001 වසරේ සිට මෙතෙක් පැමිණි ගමන්මඟ පිළිබඳව මෙහිදී අවධාරණය කළේය. තායිලන්තය සිය පළමු හලාල් ආහාර නිෂ්පාදන ප්‍රමිතීන්, CODEX හලාල් ප්‍රමිතීන්ට අනුකූලව 1998 දී හඳුන්වා දුන් බව ඔහු සඳහන් කරන ලදී. අද වන විට ගෝලීය වශයෙන් හලාල් නිෂ්පාදන අපනයනය කරන 8 වැනි විශාලතම අපනයනකරුවා වනුයේ තායිලන්තයයි. හලාල් සහතික කළ නිෂ්පාදන 180,000 කට වඩා වැඩි ප්‍රමාණයක් අපනයනය කරමින් 2023 වසරේදී ඩොලර් බිලියන 7.24 ක අපනයන ආදායමක් හිමිකර ගැනීමට තායිලන්තය සමත්ව ඇත.

    හලාල් සහතිකය ලත් නිෂ්පාදන අපනයනය කිරීමේදී සෞදි අරාබිය ශ්‍රී ලංකාවට අතිශය වැදගත් රටකි. 2023 දී ශ්‍රී ලංකාවෙන් සෞදි අරාබියට කරන ලද අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක් ලෙස ගණන් බලා ඇත.

    සෞදි හලාල් මධ්‍යස්ථානයේ අලෙවිකරණ සහ උපායමාර්ගික හවුල්කාරිත්ව පිළිබඳ විධායක උප සභාපති Dr. Thamer A. Baazeem, සෞදි අරාබියේ ආහාර සුරක්ෂිතතා ක්‍රියා පටිපාටිවලදී සහ ජාත්‍යන්තර අපනයනවලදී, හලාල් ඉටුකරන කාර්යභාරය පිළිබඳව මෙහිදී අවධාරණය යොමු කළේය. සෞදි හලාල් මධ්‍යස්ථානය, ගෝලීය වශයෙන් හලාල් සහතික කිරීමේ සංවිධාන 76ක් සමඟ කටයුතු කරන අතර වෘත්තිකයන්ට ඔවුන්ගේ කුසලතා සහ හැකියාවන් වැඩිදියුණු කරගැනීමට උපකාර කිරීමේ අරමුණින් ගෝලීය හලාල් ඇකඩමිය ද ස්ථාපිත කර ඇත.

    ශ්‍රී ලංකා හලාල් කවුන්සිලයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී Mr. Aakif A. Wahab, තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඇති සමානකම් පිළිබඳ මෙහිදී සඳහන් කරන ලදී. මෙම රටවල් දෙකෙහිම බහුතර ජනතාව ථේරවාද බෞද්ධ වන අතර තායිලන්තයේ ජනගහනයෙ න් 6%ක්ද, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 10%ක්ද මුස්ලිම් ජනතාව නියෝජනය කරයි.  2023 වසරේදී ශ්‍රී ලංකාවේ හලාල් සහතික ලත් ආහාර සහ පාන අපනයන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවත් එය ශ්‍රී ලංකාවේ මුළු අපනයනයෙන් 14%ක් නියෝජනය කරන බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

    තායිලන්ත රජය තායි හලාල් කර්මාන්තයට දක්වන සහයෝගය සහ ඒ තුළින් ආර්ථික සංවර්ධනය මෙහෙයවන ආකාරය, Mr. Aakif ගේ ඇගයීමට ලක් වූ අතර තායිලන්තය පෙන්වා දෙන පරිදි හලාල් කර්මාන්තයේ වඩාත් තිරසාර වර්ධනයක් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් සහාය අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.