තායිලන්තය, වෙළඳාම ඉහළ නැංවීමට හලාල් ආර්ථිකය කෙරෙහි අවධානය යොමු කරයි

    July, 29, 2025

    හිටපු අගමැති ශ්‍රෙත්ථා තාවිසින් Mega Halal Bangkok 2025 හිදී ප්‍රධාන දේශනය පවත්වමින්

    වේගයෙන් වර්ධනය වන ගෝලීය හලාල් වෙළඳපොළේ ඇති අවස්ථා හඳුනාගත් තායිලන්තය, සිය ආර්ථිකය මෙම අංශය හා ඒකාබද්ධ කිරීමට ඉමහත් උනන්දුවක් දක්වයි. ගෝලීයව විහිදුනු හලාල් හි නිර්මාණාත්මක සහජීවනයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම අරමුණු කරගනිමින්, 2025 ජූලි 15 සිට 18 දක්වා බැංකොක්හිදී පැවැත්වුණු මෙම සමුළුව සඳහා ජාත්‍යන්තරව කීර්තියට පත් හලාල් ප්‍රතීතන සහ සහතික කිරීමේ ආයතන කිහිපයක් සහභාගී වූහ.

    තායිලන්තයේ හිටපු අගමැති, ශ්‍රෙත්ථා තාවිසින් මහතා විසින් සමුළුව අමතමින් ඉල්ලා සිටියේ, ASEAN රටවල් එකට එක්ව වැඩ කරන ලෙසත්, ලොව පුරා බිලියන දෙකකට අධික පාරිභෝගිකයින් පිරිසක් සිටින ගෝලීය හලාල් වෙළඳපොළ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසත්ය. විශේෂයෙන්ම අපනයන විවිධාංගීකරණය කිරීමට සහ කලාපීය හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන රටවල් සඳහා හලාල් වෙළඳාම හොඳම මාර්ගය විය හැකි බව ඔහු අවධාරණය කළේය.

    සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණක් වූයේ තායිලන්තය එක්සත් ජනපද වෙළඳපොළ තුළ එතරම් තරඟකාරී නොවන බවයි. වියට්නාමය සඳහා 20%ක තීරුබදු අනුපාතයක් පනවා ඇති විටක, තායි අපනයන සඳහා 36%ක් තරම් ඉහළ පැරා-තීරුබදු අනුපාතයකට යටත් වීමට සිදුවීම, තායි නිෂ්පාදකයින්ට සැලකිය යුතු අවාසිදායක තත්වයක් ඇති කරයි. මේ නිසා, හලාල් සහතික කළ නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් ඇති මැද පෙරදිග සහ අප්‍රිකාව වැනි නව වෙළඳපොළ කෙරෙහි අවධානය යොමු කිරීම ආරම්භ කළ යුතු බව තාවිසින් මහතා අවධාරණය කළේය.

    තවද, හලාල් කර්මාන්තය ආශ්‍රිතව ව්‍යාපාර කටයුතු සිදුකරන ව්‍යවසායකයින්ට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අවශ්‍ය ප්‍රාග්ධන පහසුකම් සහ වෙළඳ පහසුකම් විධිමත් කිරීම ඇතුළුව රාජ්‍ය අංශයේ සහයෝගය වැඩි දියුණු කරන ලෙස ද ඔහු මෙහිදී ඉල්ලා සිටියේය.

    ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයට (OIC) අයත් රටවලට, තායිලන්තයේ හලාල් ආශ්‍රිත ආහාර අපනයනය 2024 මුල් භාගයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 7.1 ඉක්මවා ගිය අතර, එය මෙම අංශයේ වර්ධනය වන ආර්ථික වැදගත්කම අවධාරණය කරයි.

    Mega Halal Bangkok 2025 ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි හිටපු අගමැති ශ්‍රෙත්ථා තාවිසින්

    සෞදි අරාබියේ SASO, තුර්කියේ HAK, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ EIAC, සහ තායිලන්තයේ CICOT හි සම්භාවනීය අමුත්තන් සමඟ හිටපු අගමැති ශ්‍රෙත්ථා තාවිසින්

    Mega Halal Bangkok 2025 සමුළුව සඳහා යුරෝපය, ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව වැනි කලාපවල ප්‍රමුඛ පෙළේ හලාල් සහතික කිරීමේ සංවිධාන රැසක් සහභාගී වූ අතර ඔවුන්ට එක්ව වැඩ කිරීමට, එකිනෙකාගේ ප්‍රමිතීන් හඳුනා ගැනීමට සහ ශක්තිමත් වෙළඳ හවුල්කාරිත්වයන් ගොඩනැගීමට මෙය මහඟු අවස්ථාවක් විය.

    හලාල් නිෂ්පාදන සඳහා ගෝලීය ඉල්ලුම ඉහළ යමින් සහ රටවල් අතර නියාමන එකඟතාවයන් ඇති වෙමින් පවතින මෙවන් අවධියක, හලාල් කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා තායිලන්තයේ අනුගමනය කළ උපාය මාර්ගය, වෙළඳාම වර්ධනය කිරීමට, සිය නිෂ්පාදන හලාල් ප්‍රමිතීන් නිසිලෙස සපුරාලන බවට සහතික කිරීමට සහ බහුතර මුස්ලිම් ජනතාවක් සිටින වෙළඳපොළවල් තුළ සිය පැවැත්ම ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන කලාපයේ අනෙකුත් රටවලට මනා ආදර්ශයක් සපයයි.