July, 28, 2016
තිරසාර සංවර්ධනය යනු ගෝලීය වශයෙන් සාකච්ඡාවට ලක්වන මාතෘකාවකි. තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා යන ගමනේදී ස්වභාවික සම්පත් කළමනාකරණය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ශ්‍රී ලංකාව වැනි ස්වභාවික සම්පත්වලින් පොහොසත් රටක් තුළ විශේෂයෙන් වනාන්තර කළමනාකරණය හරහා මෙහිදී අත්පත් කර ගත හැකි අවස්ථාවන් බොහෝය.
වනාන්තර කළමනාකරණය මූලික වශයෙන් ප්‍රධාන අරමුණු දෙකක් මුදුන්පමුණුවා ගැනීම සඳහා වැදගත් වේ. වර්තමානයේ වන සම්පත උපයෝගී කර ගන්නා අතර ම අනාගත පරපුර සඳහා ද එය රැක ගැනීම වනාන්තර කළමනාකරණයේ ප්‍රමුඛ අරමුණකි. ඊට අමතරව, සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා නිෂ්පාදනමය අරමුණු වෙනුවෙන් වනාන්තර කළමනාකරණය කළ හැකිය. මේ අතරින් පළමු අරමුණ මගින් මෙරට ජනතාවට සෘජු මුල්‍ය ප්‍රතිලාභ හිමිකර ගැනීමේ අවස්ථා බෙහෙවින් සීමා සහිත වේ. මිනිසා විසින් වගා කරන ලද වනාන්තර හෙවත් කෘත්‍රිම වනාන්තර වැඩිදියුණු කිරීම මගින් මෙරට ආර්ථිකයට ආදායමක් එක්වන අතර, එමගින් අප සතු ස්වභාවික වන සම්පත ද වක්‍රාකාරව ආරක්ෂා කෙරේ. මන්ද, ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දිය හැක්කේ කෘත්‍රිම වන වගාව තුළින් වීම නිසාය.
1950 දශකයේදී ඇරඹුණු මෙරට කෘත්‍රිම වන වගාව මගින් මෙතෙක් අපේක්ෂිත මූලික අරමුණ වූයේ දැව සම්පාදනයයි. එසේ වුවත්, මෙරට පවතින දැව ඉල්ලුම හේතුවෙන් දැව අපනයනය කිරීමේ ගැටළු පැන නැඟිනි. දැව කර්මාන්තයේ පවතින ප්‍රබලත ම අභියෝගය නම්, උසස් ප්‍රමිතියෙන් යුත් දැව ලබා ගැනීමට දිගු කලක් ගත වීමයි. සඳුන්, අගාවුඩ් වැනි දැව නොවන වනජමය නිෂ්පාදන සඳහා විශාල වෙළඳපල වපසරියක් විවර වන්නේ මෙවැනි පසුබිමක් තුළය. වෙළඳපල තුළ අධික ඉල්ලුමක් පැවතීම, ඒ නිසා ම ඒ සඳහා අධික මිලක් හිමි වීම මෙන්ම, දැව අපනයනයට වඩා අපනයනය පහසු වීම හේතුවෙන් දැව නොවන වනජමය නිෂ්පාදන වඩාත් පහසු හා ලාභදායී විකල්පයක් බවට පත්ව ඇත. මේ අනුව, පරිසරය සංරක්ෂණය සඳහා දායකත්වය ලබා දෙන අතරතුර ඉහල ආදායමක් හිමිකර ගත හැකි නිෂ්පාදනයක් ලෙස අගාවුඩ් හඳුන්වා දිය හැකිය.
වනාන්තර කළමනාකරණය තුළ මෙතෙක් පැවති ප්‍රධානත ම අභියෝගයක් නම්, ආදායම් උත්පාදන කාලය ඉතා දීර්ඝ වීමය. සාමාන්‍යයෙන් දැව කර්මාන්තය තුළ ආදායමක් හිමිකර ගැනීම සඳහා අවම වශයෙන් වසර පහළොවක් පමණ වූ අතර, අගාවුඩ් කර්මාන්තය සමග එය වසර අටක් පමණ දක්වා අඩු වී ඇත. මෙය, වන වගා ක්ෂේත්‍රය තුළ සිදු වූ පෙරළියක් ලෙස හඳුන්වා දිය හැකිය.
ලෝක වෙළඳපල තුළ පවතින අධික ඉල්ලුම නිසාම අගාවුඩ් වඩාත් විශ්වසනීය ආදායම් මාර්ගයක් බවට පත්ව ඇත. මෙම ක්ෂේත්‍රයේ දැනට පවතින දත්තයන්ට අනුව, අග්නිදිග ආසියානු රටවල සියලුම අගාවුඩ් සැපයුම පිළිබඳ සැලකීමේදී ද ලෝක වෙළඳපලේ අගාවුඩ් සඳහා පවතින ඉල්ලුම සපුරාලිය හැකිව ඇත්තේ 40% ක් පමණවන ඉතා අඩු ප්‍රතිශතයකි.
සුවඳවිලවුන් නිෂ්පාදනයේ නියැලෙන ලොව ප්‍රමුඛ නාමයන් සිය නිෂ්පාදන සඳහා අගාවුඩ් අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කිරීම අරඹා ඇත්තේ මෑතකදීවන බැවින් අගාවුඩ් සඳහා ඇති ඉල්ලුම ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. ඒ අනුව, ආරම්භයේදී මැදපෙරදිග රාජ්‍යයන්ට පමණක් සීමා වූ අගාවුඩ් වෙළඳපල මේවන විට යුරෝපය දක්වා ද ව්‍යාප්ත වී ඇත.
මෙවැනි පසුබිමක් තුළ අගාවුඩ් ක්ෂේත්‍රය ඔස්සේ ශ්‍රී ලංකාවට ආර්ථිමය වශයෙන් සුවිශේෂී ප්‍රතිලාභ රැසක් අත්කර ගත හැකිය. අතීතයේ පටන් වැවිලි සංස්කෘතියක් සමග බද්ධව ජීවත් වූ මෙරට ජනතාවට මෙම ක්ෂේත්‍රය සඳහා වඩාත් පහසුවෙන් නැඹුරු විය හැකිය. මැදපෙරදිග වැනි රටවල පදිංචි ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙක් වන වගා කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබීම ඉතා යහපත් ප්‍රවණතාවකි.
අගාවුඩ් මගින් සුගන්ධවත් තෙල් සහ පටක (Chips) ලබා ගැනේ. මෙරට වැඩුණු ශාකයකින් අවම වශයෙන් පටක ග්‍රෑම් 100 ක් සහ තෙල් මිලි ලීටර 24 ක් ලබා ගත හැකිය. මිලි ලීටර 24 ක් ඉන්දීය රු. 24,000 ක් වැනි අධික මිලකට අලෙවි වේ. ඒ අනුව, එක් වැඩුණු ශාකයක උත්පාදනයවන තෙල් මිලි ලීටර 24 ක් අලෙවියෙන් හිමිවන ආදායම ශ්‍රී ලංකා මුදලින් රු. 58,000 ඉක්මවයි. තෙල්වලට අමතරව පටක කිලෝ ග්‍රෑමයක් ඉන්දියාව තුළ ඇ.ඩො. 15,000 ක මිලකට අලෙවි වේ. එම අගය ලංකා මුදලින් රුපියල් ලක්ෂ දෙක ඉක්මවයි. ඒ අනුව, එක් ශාකයකින් හිමිකර ගත හැකි අවම ආදායම ශ්‍රී ලංකා රුපියල් දෙකහමාර ඉක්මවයි.
සාමාන්‍ය ආයෝජනයක් සේම, වනවගා ආයෝජනය මගින් ද අපේක්ෂිත අරමුණ තමන් ආයෝජනය කළ මුදලට වැඩි ප්‍රතිලාභ අත්පත් කර ගැනීමය. ඒ සඳහා නිවැරදි තාක්ෂණය, විශේෂයෙන් ම අගාවුඩ් කෘත්‍රිමව වර්ධනය කිරීම සඳහා දැනට ඇති සාර්ථක ම ක්‍රමයවන CA Kit ආදිය භාවිතා වීම අවශ්‍ය වේ.
ලෝකය සමාජ-ආර්ථික වශයෙන් වේගයෙන් වෙනස් වෙමින් පවතී. මිනිස් අවශ්‍යතාවන් සංකීර්ණ වීමත් සමග පරිසරයට ඇති වී තිබෙන බලපෑම හේතුවෙන් ගෝලීය උණුසුම වසරින් වසර වර්ධනය වේ. මෙවැනි පසුබිමක් තුළ, පරිසරය සුරක්ෂිත කර ගනිමින් ආර්ථිකමය අභියෝගයන්ට මුහුණ දීම සඳහා අගාවුඩ් වැනි වඩාත් ඵලදායී විකල්පයන්ට කඩිනමින් යොමු වීමේ අවශ්‍යතාව පැන නැගී ඇත. එය මෙරට තිරසාර සංවර්ධන මාවත තවදුරටත් පුළුල් කරනු ඇත.

Video Story