January, 21, 2016
මෙරට තේ අපනයනකරුවන් දැනට මුහුණ පා සිටින ගැටළු නිරාකරණය කරමින් ඔවුන් දිරිගැන්වීම සඳහා අමාත්‍යංශ මට්ටමින් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බව ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී තේ අපනයනකරුවන් හා පැවති විශේෂ හමුවකදීය. මේ සඳහා අක්බර් බ්‍රදර්ස්, ජෝර්ජ් ස්ටුවර්ට් ටී (පුද්) සමාගම, ජැෆර්ජි බ්‍රදර්ස් එක්ස්පෝටර්ස් ලිමිටඩ් හා ඉම්පීරියල් ටී යන තේ අපනයන සමාගම්වල නියෝජිතයෝ ඇතුළු පිරිසක් එක් වී සිටියහ.
විදේශ ප්‍රේෂණ ලංකාවට ඒමේ දී වඩා පහසු ආකාරයෙන් ඒවා ගෙන්වා ගැනීමට අමාත්‍යවරයා මහ බැංකුව සමඟ සාකච්ඡා කිරීමට මැදිහත්වන බව මෙහිදී ප්‍රකාශ කළ අතර පිටරටින් තේ ආනයනය කර අගය එකතු කර ප්‍රතිඅපනයනය කිරීමට මෙහිදී අපනයනකරුවන්ගේ අවධානය යොමු කෙරිණි.
ලොව රටවල් 40 ක් ශ්‍රී ලංකාවෙන් සෘජුව තේ ආනයනය කරනු ලබන අතර 2014 දත්ත වාර්තාවලට අනුව රුසියාව, තුර්කිය, ඉරානය හා ඉරාකය ඒ අතුරින් පෙරමුණේ සිටී. ශ්‍රී ලංකාවේ සමස්ත තේ අපනයනය 2012 දී ඩොලර් බිලියන 1.3 ක් ලෙසත්, 2013 දී ඩොලර් බිලියන 1.5 ක් හා 2014 දී ඩොලර් බිලියන 1.6 ක් වශයෙන් වාර්තා වේ. 2020 වසරේ දී ඩොලර් බිලියන 3 දක්වා මෙම ප්‍රමාණය වර්ධනය කිරීමට ඉලක්ක කෙරී ඇත.
Video Story