තේ තැරැව්කාර සමාගමක් මිලදී ගනිමින් නිමල් පෙරේරා සැරසෙන්නේ කුමකටද ?

    October, 1, 2014

    රුපියල් මිලියන 200 කට Mercantile Produce Brokers Ltd (MPB) නැමති තේ තැරැව්කාර සමාගමේ පාලනය නතුකර ගත් පෑන් ඒෂියා බැංකුවේ සභාපති මෙන්ම රෝයල් සෙරමික් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා වන ප්‍රකට ආයෝජක නිමල් පෙරේරා මහතා පවසන්නේ හේලීස් සමාගමට අයත් තලවකැලේ සහ කැළණිවැලි සමාගම් මෙන්ම හොරණ ප්ලාන්ටේෂන් සමාගම විසින් නිපදවන තේ මෙම තැරැව්කාර සමාගම හරහා අලෙවි කිරීමට තීරණය කර තිබෙන බවයි.

    “අපි බලාපොරොත්තු වෙන්නේ හේලීස් සමාගමට අයත් කැළණිවැලි සහ තලවකැලේ සමාගම්වල තේ වගේම හොරණ ප්ලාන්ටේෂන් විසින් නිපදවන තේ මෙම සමාගම මගින් අලෙවි කිරීමටයි. එවිට මෙම සමාගමේ පිරිවැටුම දෙගුණයකින් පමණ වැඩිවේවි.“

    යනුවෙන් නිමල් පෙරේරා මහතා අප සමග සඳහන් කළේය.

    මෙම මිලදීගැනීම නිමල් පෙරේරා මහතා විසින් Don Wilbert Capital නැමති ඔහුගේ ආයෝජන සමාගම මගින් සිදුකළ අතර මෙහිදී Mercantile Produce Brokers Ltd (MPB) සමාගමේ සියයට 76 ක කොටස් මිලදී ගන්නා ලදී.

    මෙම සමාගමේ සභාපති සුනිල් උදලාගම මහතා, කළමනාකාර අධ්‍යක්ෂ, නරේෂ් ධඹවින්න මහතා සහ ප්‍රධාන මූල්‍ය නිළධාරි ඒ.ඒ.ජී විතාරණ මහතා මෙම කොටස් විකිණීම කර තිබේ.
    නිමල් පෙරේරා මහතා විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සහ රෝයල් සෙරමික් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිළධාරී හරේෂ් සෝමශාන්ත මහතා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට අළුතින් යෝජනා කර ඇත.