තේ සහ මත්ස්‍ය අපනයන වලට තව තවත් වදී

    September, 29, 2015

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වන්නේ මැදපෙරදිග සහ රුසියාවේ ඇතිවී තිබෙන අර්බුද හමුවේ මෙරට තේ අපනයනය පිට පිටම 12 වන වතාවටත් පසුගිය ජූලි මාසයේදී පහත වැටුණු බවයි.

    මේ අනුව, 2014 ජූලි මාසයට සාපේක්ෂව මේ ජූලි මාසයේදී තේ අපනයනය සියයට 14 කින් පහත වැටී තිබෙන අතර මේ ජූලි මාසයේදී උපයාගෙන තිබෙන ආදායම ඩොලර් මිලියන 126.5 කි.

    2014 ජූලි මාසයේදී තේ අපනයන මගින් ඩොලර් මිලියන 147.2 ක ආදායමක් ලබාගෙන තිබුණි.

    මේ අතර, යුරෝපී සංගමය විසින් මෙරට මත්ස්‍ය අපනයන වලට පනවා තිබෙන තහනම තවදුරටත් ක්‍රියාත්මක වීම හමුවේ පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව මේ ජූලි මාසයේදී මත්ස්‍ය අපනයන සියයට 32.5 කින් අඩුවී ඇත.

    මේ අනුව, 2014 ජූලි මාසයේදී ලංකාව මත්ස්‍ය අපනයන මගින් ඩොලර් මිලියන 22.4 ක ආදායමක් ලබා තිබුණු අතර එය මේ ජූලි මාසයේදී ඩොලර් මිලියන 15.1 ක් දක්වා අඩුවී තිබේ.

    මෙහිදී, කැපී පෙනෙන්නේ යුරෝපය සංගමයට කළ මත්ස්‍ය අපනයන සියයට 71 කින් ගෙවුණු ජූලි මාසයේදී අඩුවී තිබීමයි.