November, 20, 2014
කොට්ටාවේ සිට මාතර ගොඩගම දක්වා ඉදිකර තිබෙන දකුණු අධිවේගී මාර්ගයේ මාතර සිට බෙලිඅත්ත දක්වා කිලෝ මීටර් 30 ක් වන කොටස ඉදිකිරීම සඳහා ණය මුදල් සම්පාදනය කර ගැනීමට කැබිනට් මණ්ඩලය අවසර ලබාදී ඇත.
මහා මාර්ග, වරාය සහ නාවික අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කර තිබූ යෝජනාවකට අනුව මෙම අවසරය ලබාදුන් බව රජය සඳහන් කරයි.
දකුණු අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා කොටස් හතරකින් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර මාතර සිට බෙලිඅත්ත දක්වා පළමු කොටස කිලෝ මීටර් 30 කින්ද, බෙලිඅත්තේ සිට වැටිය දක්වා දෙවන කොටස කිලෝ මීටර් 26 කින්ද, වැටිය සිට අන්දරවැව දක්වා තෙවන කොටස කිලෝ මීටර් 15 කින්ද, මත්තල සිට හම්බන්තොට දක්වා සිව්වන කොටස කිලෝ මීටර් 25 කින්ද යුක්ත වේ.
මේ අනුව, දකුණු අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට හම්බන්තොට දක්වා දිග කිලෝ මීටර් 227 ක් වන අතර මාතර සිට හම්බන්තොට දක්වා දිග කිලෝ මීටර් 96 කි.
Video Story