දකුණු ආසියාවේ සෞභාග්‍යයෙන් අගතැන්පත් ජාතිය බවට ශ්‍රී ලංකාව පත්වෙයි

    November, 5, 2015

    ලන්ඩන් නුවර Legatum ආයතනය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන සෞභාග්‍යතා දර්ශකයට අනුව දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටින රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

    ලොව පුරා රටවල් 142 ක් ඇසුරින් සකස් කරන ලද මෙම දර්ශකයට අනුව 61 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්වෙද්දී, නේපාලය - 89, ඉන්දියාව - 99, බංග්ලාදේශය - 103, පකිස්ථානය - 130 සහ ඇෆ්ගනිස්ථානය - 141 යනාදී වශයෙන් සෙසු ස්ථානවලට පත්ව තිබේ.

    ආර්ථිකය, ව්‍යවසායකත්වය හා ප්‍රස්ථාවන්, යහපාලනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්ෂාව හා සුරක්ෂාව, පුද්ගල නිදහස හා සමාජ ප්‍රාග්ධනය යන අටවැදෑරුම් දර්ශක වෙත සමාන බරක් ලබා දෙමින් මෙම දර්ශකය පිළියෙල කරනු ලබයි.

    සෞභාග්‍යතා දර්ශකයේ පළමු ස්ථානය හිමිව තිබෙන්නේ නෝර්වේ රාජ්‍යයටයි. ස්විස්ටර්ලන්තය, ඩෙන්මාර්ක්, නවසීලන්තය හා ස්වීඩනය වෙත පිළිවෙලින් සෙසු ස්ථාන හිමිව තිබේ.