August, 3, 2016
වොක්ස්වැගන් වාහන සඳහා තහනමක් පැනවීමට දකුණු කොරියානු රජය ඊයේ සිට පියවර ගන්නා ලදී. මේ අනුව වොක්ස්වැගන් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන මාදිලි 80 ක් පමණ වාහන, එරට අලෙවිය තහනම් කර ඇත.
තම රජයට අසත්‍ය තොරතුරු සපයමින් වොක්ස්වැගන් විසින් නිෂ්පාදිත මෝටර් රථ පසුගිය කාලය තුළ අලෙවි කිරීම මීට හේතුව බව දකුණු කොරියානු රජය කියා සිටී. වොක්ස්වැගන් විසින් නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථවලින් පරිසරයට නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය හා එයින් නිකුත් කෙරෙන ශබ්දයේ ප්‍රමාණය ආදිය පිළිබඳ අසත්‍ය තොරතුරු නිකුත් කර තිබීම මෙම තහනමට හේතු වී තිබේ.
පසුගිය 2015 වසරේ සැප්තැම්බර් මාසයේ දී වොක්ස්වැගන් සමාගම විසින් සිය වාහනවල වායුවිමෝචනය සම්බන්ධයෙන් ලබා දී ඇති තොරතුරු අසත්‍ය ඒවා බවට මුල් වරට අනාවරණය වූ අතර ලොව පුරා අලෙවි කොට තිබූ ඩීසල් වාහන මිලියන 11 ක සවිකර ඇති වායු විමෝචන මෘදුකාංග පද්ධති, අසත්‍ය තොරතුරු සපයන බවට අනාවරණය විය. මේ තත්ත්වය තුළ ඇමරිකා එක්සත් ජනපදයට ඩොලර් බිලියන 14.7 ක වන්දියක් ගෙවා, එරට ඇති වූ තත්ත්වය සමථයකට පත්කරලීමට සමාගමට සිදුවිය.
ඉන් අනතුරුව වොක්ස්වැගන් හි කොරියානු අනුබද්ධ සමාගම වන Audi Volkswagen Korea විසින් දකුණු කොරියාවේ ඩීසල් වාහන 126,000 ක් යළි කැඳවූ අතර ඒ සඳහා ඩොලර් බිලියන 14.1 ක දඩයක් හා ඩොලර් බිලියන 12.7 ක් වන්දියක් අයකිරීමට පියවර ගෙන ඇත.
වොක්ස්වැගන් ගෝලීය වෙළෙඳපොළ කොටස හා සැසඳීමේ දී දකුණු කොරියාව සාපේක්ෂව කුඩා වෙළෙඳපොළක් වුවත්, දකුණු කොරියානු රජය විසින් ගත් මෙම තීරණය ජාත්‍යන්තර වශයෙන් වොක්ස්වැගන් සමාගම වෙත අහිතරක බලපෑමක් එල්ල කරනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.
මේ වන විට වොක්ස්වැගන් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව ඇති වාහන මාදිලි වන VW Golf හා Tiguan සහ Audi A3, A6 මෙන්ම බෙන්ට්ලි ඇතුළු වාහන මාදිලි 80 ක් පමණ දකුණු කොරියාව තුළ අලෙවිය ඊයේ (02) සිට තහනම් වී තිබේ.