March, 3, 2026
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද දකුණු පළාත් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ ජාලකරණ සමුළුව, 2026 පෙබරවාරි 24 වන අඟහරුවාදා දින මාතරදී සාර්ථකව පවත්වන ලදී. ප්‍රාදේශීය අපනයනකරුවන් මුහුණ දෙන අභියෝග හඳුනා ගැනීම සහ නව අපනයන අවස්ථා ගවේෂණය කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා සහභාගී වූ අතර, අපනයනකරුවන්ට තම ගැටලු සෘජුවම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට මෙහිදී සුවිශේෂී අවස්ථාවක් හිමි විය.
සමුළුව සඳහා ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නියෝජිතයන් රැසක් සහභාගී වූහ. ඒ අතර හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්ලත්ති මහතා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ සභාපති ලක්ෂ්මන් අබේසේකර මහතා, දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපති සරත් සමරසේකර මහතා, දකුණු පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතා සහ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ප්රමුඛ වූහ.
මීට අමතරව, ප්‍රාදේශීය ලේකම්වරුන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශයේ වැඩබලන අධ්යක්ෂ ඩි.එම්.පි දසානායක මහතා ඇතුළු දකුණු පළාත් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් අපනයනකරුවන් 250 කට ආසන්න පිරිසක් මෙයට එක්ව සිටියහ.
අපනයනකරුවන්ගේ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින් සංවිධානය වූ මෙම සමුළුවට පෙර, අපනයන සංවර්ධන මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය මගින් විශේෂිත ගැටලු සහ යෝජනා රැස් කර තිබීම සාකච්ඡා වඩාත් ඵලදායී වීමට හේතු විය. මෙම වැඩපිළිවෙළ හරහා ප්‍රාදේශීය අපනයන විෂමතා අවම කරමින්, ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන කාර්ය සාධනය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.