January, 4, 2016
''ඇවිද යමු, එක් වෙමු, සුව කරමු'' යන පණිවිඩය රැගෙන 2016 වසරේ මෙරට දකුණු පළාතේ රු. මිලියන 5 ක වියදමින් ඉදිකිරීමට නියමිත රෝහල සඳහා අවශ්‍ය මූල්‍යමය ආධාර රැස්කිරීම ඉලක්ක කරගනිමින් ''තරණය'' පාද යාත‍්‍රාව මෙවර ද එළඹෙන දෙසැම්බර් මස 17 වනදා ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.
පිළිකා රෝගයට එරෙහිව ක‍්‍රියාත්මක ''තරණය'' ඇතුළු වෙනත් ජාතික මට්ටමේ ව්‍යාපෘති වෙනුවෙන් අරමුදල් ලබාදෙන The Colours of Courage අරමුදල විසින් පාර්ක් වීදියේ වෙයාහවුස් ඩී ස්ථානයේ සංවිධානය කරන ලද මාධ්‍ය හමුවේදී ''තරණය'' ප‍්‍රාරම්භකයන්වන නාදන් ශිවගනනාදන් සහ සරින්ද උනම්බුව යන මහත්වරු මෙම වැඩසටහන පිළිබඳ දැනුම්වත් කළෝය.
යාපනයේ ඉදිකළ මෙරට දෙවන ජාතික පිළිකා රෝහල ඉදිකිරීම සඳහා අරමුදල් රැස්කිරීමට 2011 වසරේදී ගමන් ගත් ''තරණය'' පාද යාත‍්‍රාව ඇ. ඩො. මිලියන 2'2 ක මුදලක් එක්රැස් කිරීමට සමත් වූ අතර එය එදා මෙදාතුර මෙරට ක‍්‍රියාත්මක වූ දැවැන්තම සුබසාධක ව්‍යාපෘතිය ද වේ.
''2011 වසරේදී අප දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ක‍්‍රියාත්මක කළ ''තරණය'' පාද යාත‍්‍රාව සැබැවින්ම අපගේ ජීවිතවල හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වූ බව කිව යුතුයි. එමඟින් අපගේ මාතෘ භූමිය පිළිබඳවත්, මෙරට ජනතාව පිළිබඳවත්, අප පිළිබඳවත් බොහෝ දේ හැඳිනගැනීමට හැකිවුණා. මෙම පළමු චාරිකාව අවසන් වූ වහාම අප සියලූ දෙනාගේම සිත් තුළ මතු වූ කාරණය නම්, අප මෙවැනිම යමක් දකුණේ ජනතාව වෙනුවෙන් ද සිදුකළ යුතුයි යන්නයි. එම සද්කාර්යයට යළිත් වරක් මුලපිරීමට කාලය එළඹ තිබෙනවා. එබැවින්, ''ඇවිද යමු, එක් වෙමු, සුව කරමු'' යන උත්තම අභිලාෂයෙන් යුතුව මේ ගමනට සහයෝගය ලබාදෙන ලෙස අප සමස්ත ශ‍්‍රී ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.'' තරණය පාද යාත‍්‍රාවේ ප‍්‍රාරම්භකයෝ සඳහන් කළෝය.
පළමු චාරිකාවේදී දෙස්-විදෙස් ජනතාවගෙන් ලැබුණු ප‍්‍රතිචාර ''තරණය'' දෙවැනි චාරිකාව ක‍්‍රියාත්මක කිරීම සඳහා බෙහෙවින් බලපෑ බව ඔවුන්ගේ මතයයි. 2011 වසරේ ''තරණය'' පාද යාත‍්‍රාව සඳහා ද සිය නොමඳ සහයෝගය ලබාදෙමින්, 2014 වසරේ ජනවාරි මස යාපනයේ තෙලිප්පලේ පිළිකා රෝහල විවෘත කිරීම සඳහා ද සහභාගී වූ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හට ඔවුහු සිය විශේෂ කෘතඥතාව පළකර සිටියෝය. එමෙන්ම, තරණය පාද යාත‍්‍රාවේ තානාපතිවරුන් වූ කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන මහත්වරුන් 2016 වසරේ ''තරණය'' පාද යාත‍්‍රාවේ ආරම්භයේ සිට අවසානය දක්වාම සිය සහභාගීත්වය තහවුරු කර ඇති බව ද ඔවුහු කීහ.
පේදුරු තුඩුවෙන් ඇරඹෙන 2016 ''තරණය'' පාද යාත‍්‍රාව දෙවුන්දර තුඩුව දක්වා ගමන් කිරීමට නියමිත අතර දිනකට දළ වශයෙන් කි. මී. 23 කට ආසන්න ප‍්‍රමාණයක් ආවරණය කිරීමට සැලසුම්කර ඇත. සිය හැකියාව මත දිනකට, දින තුනකට හෝ සමස්ත දින විසි අටම සඳහා ද සහභාගීවීමට හැකිවීම විශේෂත්වයකි. ''තරණය'' පාද යාත‍්‍රාවට ලියාපදිංචි වීම, මුදල් පරිත්‍යාගය ඇතුළු සියලූ තොරතුරු www.trailsl.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
2011 වසරේදී පාද යාත‍්‍රාවේ ආරම්භයේ සිට අවසානය දක්වා ම සහභාගී වූ පිරිසගේ උත්සාහය අගයනුවස් ඔවුන්ගේ කබා 12 ක් ද මෙහිදී ප‍්‍රදර්ශනය කෙරිණි. කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනට අමතරව ජැකලීන් ෆර්නෑන්ඩස්, ඔටාරා ගුණවර්ධන, යුරේනි නොෂිකා, නතාලි ඇන්ඩර්සන් සහ නාඩියා ඇන්ඩර්සන් වැනි දෙස් විදෙස් ජනාදරයට පාත‍්‍ර වූ සුපිරි තාරකාව ද මෙවර පාද යාත‍්‍රාවේ තානාපතිවරුන් ලෙස සිය සහයෝගය ලබාදෙති.
''තරණය'' පාද යාත‍්‍රාව පිළිබඳ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවේදී 2011 වසරේ පාද යාත‍්‍රාවේ සුවිශේෂී අවස්ථාවන් රැගත් ඡායාරූප ද ප‍්‍රදර්ශනය කෙරිණි. දකුණුකරේ සිට උතුරුකරය දක්වා කි. මී. 670 ක දුරක් යාත‍්‍රා කළ එම සහෝදරත්වයේ යාත‍්‍රාවට ගොඩවැදුනු 30000 කට අධික පිරිසකගේ සහ 300"000 කට අධික සුබපතන්නන්ගේ නොමසුරු දායකත්වය එම ඡායාරූප තුළින් මැනවින් පිළිබිඹු විය. පිළිකා රෝගය පිටුදැකීම සඳහා මෙන්ම ජාතික සමඟිය ගොඩනැගීම සඳහා ද මෙම පාද යාත‍්‍රාව මනා වේදිකාවක් බඳුවෙයි.
ළමා වාට්ටුවක් ඇතුළුව වාට්ටු තුනකින් සමන්විත යාපනයේ පිළිකා රෝහල එහි ආරම්භයේ පටන් මේ දක්වා 3000 කට අධික උතුරු හා උතුරු මැද පළාත් ජනතාවට සෙත සලසා ඇත. නවතම විකිරණ චිකිත්සා පහසුකම් ද රෝහල් පරිශ‍්‍රය තුළ ස්ථාපනය වෙමින් පවතී.
ජනතාවගේ ත්‍යාගශීලී බව මග දෙපසදීම ඇගයුමට ලක්කිරීම පාද යාත‍්‍රාවේ සුවිශේෂී අංගයක් විය. පාද යාත‍්‍රිකයෝ කැට මගින් රු. මිලියන 10 කට ආසන්න මුදලක් රැස් කිරීමට සමත් වූහ. කුඩා දරුවන්, පූජ්‍ය පක්ෂය, පොලිස් නිළධාරීන්, කොළඹ නගර සභා සාමාජිකයන්, ගොවිමහතුන් මෙන්ම හිසට සෙවණක් පවා නොමැති පුද්ගලයෙකු ද මේ සඳහා ලබාදුන් දායකත්වය සුවිශේෂී වෙයි.
2016 ''තරණය'' පාද යාත‍්‍රාව පිළිබඳ හඳුන්වාදීමේ අවස්ථාව සඳහා" ඒ සමඟ අත්වැල් බැඳ සිටින ආයතන සහ සමාගම්වල නියෝජිතයන් ද සහභාගී වී සිටි අතර, ඔවුන්ගේ නොමසුරු දායකත්වය ''තරණය'' පාද යාත‍්‍රාවේ ප‍්‍රාරම්භකයන්ගේ විශේෂ ඇගයුමට ලක්විය. මෙම සුබසාධක ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම ද ඒ සඳහා සමස්ත ලාංකේය ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.
Video Story