දඹුල්ලෙන් පිටකොටුවට වදී. අපි වේලෙනවා -නාදන් කියයි

    August, 27, 2014

    මේ දිනවල වැඩිපුර පිරිසක් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යන නිසා පිටකොටුව තොග වෙළඳ පොළේ වෙළඳාම බොහෝ සේ අඩුවී ඇතැයි පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම්වරයා කියයි.

    පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් ජී. නාදන් මහතා මේ පිළිබඳව අප සමග පැවසුවේ මේ ආකාරයෙනි.

    “මේ දවස්වල දඹුල්ලේ ලූණු අස්වැන්න වෙළඳ පොළට එනවා. මේ නිසා, බොහෝ පිරිසක් ලූණු මිලදී ගැනීමට දඹුල්ලට යන නිසා පිටකොටුවට එන්නේ නෑ. දඹුල්ල වෙළඳ පොළේ අනිකුත් සියළුම ආහාර ද්‍රව්‍ය විකුණන නිසා ඔවුන්ට නැවත පිටකොටුවට එන්න අවශ්‍යතාවයකුත් නෑ. මේ නිසා, පිටකොටුව තොග වෙළඳපොළේ වෙළඳාම මේ දිනවල බොහෝම අඩුයි.“

    දේශීය ලූණු හා අර්තාපල් අස්වැන්න වෙළඳ පොළට පැමිණෙන නිසා රජය පසුගියදා ආනයනික ලූණු හා අර්තාපල් බදු වැඩිකළේ දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීමේ අරමුණෙනි.

    මේ අනුව, අර්තාපල් කිලෝවක ආනයන බද්ද රුපියල් 15 ක් දක්වාත් ලොකු ලූණූ කිලෝවක රුපියල් 10 ක්ව පැවති ආනයන බද්ද රුපියල් 25 ක් දක්වාත් රජය වැඩිකරන ලදී.

    නාදන් මහතා වැඩිදුරටත් පැවසුවේ තවත් සතියකින් පමණ පිටකොටුවේ වෙළඳාම යථාතත්ත්වයට පත්වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.