July, 22, 2024
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පසුබෑමක් අද (22) දිනයේ දී වාර්තා විය.
කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශක අගය අද දිනය තුළ ඒකක 187.25 ක දැවැන්ත පහළ යාමක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී ඒකක 11,539.83 ක් ලෙසින් එහි අගය වාර්තා වුණි. මෙය පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය ජූලි 19 වැනි දා හා සැසඳීමේ දී 1.60% ක පහළ යාමකි.
කොමර්ෂල් බැංකුව. මෙල්ස්ටාකොප්, HNB, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ සම්පත් බැංකුව යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට බෙහෙවින් බලපා තිබුණි. එසේම සමාගම් 153 ක කොටස් මිල ගණන් අද දින පහළ ගොස් තිබෙන අතර මිල ගණන් ඉහළ ගොස් තිබුණේ සමාගම් 29 ක පමණි.

මේ අතර S&P SL20 දර්ශකය ද අද දිනය තුළ 2.11% ක කඩා වැටීමක් වාර්තා කර ඇත. ඒ පසුගිය ගනුදෙනු දිනයට වඩා ඒකක 72.32 ක පහළ යාමක් අද දින වාර්තා කිරීමත් සමඟිනි. දිනය අවසානයේ දී S&P SL20 දර්ශක අගය ඒකක 3,356.68 ක් ලෙසින් සටහන්ව තිබුණි.
රු. මිලියන 678.53 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබුණි.
අද දිනයේ ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රු. 4,568,456,645,543/- ක් ලෙසින් සටහන්ව ඇත.
මෙය පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය ජූලි 19 දින ගනුදෙනු අවසානයේ දී සටහන් වූ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම වන රු. 4,634,452,368,861/- ට වඩා රු. 65,995,723,318/- ක පහළ යාමකි.
එනම් අද දිනය තුළ දී කොටස් වෙළෙඳපොළෙන් ගිලිහී ගොස් ඇති වටිනාකම රු. බිලියන 65.99 කි. නැතහොත් රු. කෝටි 6,599 කි.