දැවැන්ත පසුබැස්මකින් පසු කොටස් වෙළෙඳපොළ අද නැගිටියි

    March, 12, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු ඉහළ යාමක් අද (12) දිනයේ දී වාර්තා විය.

    එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 150.57කින් සහ S&P SL20 අගය ඒකක 50.02කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,861.14 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 4,730.84 ක් ලෙසත් සටහන් වුණි.

    අද දින සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ප්‍රධාන පෙළේ බැංකු සමාගම් කිහිපයකම කොටස් මිල ගණන් ඉහළ යාම් බෙහෙවින් දායක වූ අතර කොමර්ෂල්, HNB සහ සම්පත් යන බැංකු සමාගම් ප්‍රමුඛ විය. මීට අමතරව හේලීස් සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යන සමාගම් ද්විත්වයේ ද කොටස් මිල ඉහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉවහල් විය.

    රු. බිලියන 2.42 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය. එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.90 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.95 ක් ලෙසින් වාර්තා වූ අතර රු. මිලියන 518 ක විදේශීය මිල දී ගැනීම් හා රු. මිලියන 468 ක විදේශීය විකිණුම් දිනය තුළ වාර්තා වී ඇත.