දිට්වා සුලි කුණාටුවෙන් විදුලිය අහිමි වූ පාරිභෝගිකයන්ගෙන් 99% කට විදුලිය ලබා දී අවසන් – බලශක්ති අමාත්‍යාංශය

    December, 9, 2025

    දිට්වා සුලි කුණාටුව හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් මිලියන 7කින් මිලියන 4 කටම සෘජු බලපෑම් එල්ල විය.

    එහි දී වහා ක්‍රියාත්මක වූ විදුලිබල සේවකයෝ දැඩි කැපවීමකින් හා පරිශ්‍රමයකින් විදුලිබලය යථා තත්ත්වයට පත් කිරීම ඇරඹූ අතර වාර්තා වූ බිද වැටීම් වලින් 70% ක් හා පසුව 85% ක් යථා තත්ත්වයට පත්කිරීමට සමත් වූහ.

    විදුලි යටිතල පහසුකම්වල සිදු වූ බරපතලම හානිය ලෙස දැක්විය හැකි රන්ටැඹේ, මහියංගනය 132 kv සම්ප්‍රේෂණ පද්ධතියේ ප්‍රධාන කුළුනක් සම්පූර්ණයෙන්ම ඉදිරී විනාශ වී ගොස් තිබුණු අතර රැහැන් පද්ධතියට ද විශාල වශයෙන් අලාභහානි විය.

    අඳුරට පත් වූ මහියංගනය ප්‍රදේශයත් නැගෙනහිර පළාතේ අම්පාර හා මඩකළපුව දිස්ත්‍රික්කත් 33000 kv තාවකාලික සම්බන්ධතාවක් හරහා රෝහල් හා ජල පොම්පාගාර වැනි අත්‍යවශ්‍ය ස්ථාන වලටත් නිශ්චිත ස්ථානවලටත් කඩින් කඩ විදුලිය ලබා දීමට විදුලිබල සේවකයෝ සමත් වුහ.

    දෙසැම්බර 06 වෙනිදා පස්‌වරුවේ සම්ප්‍රේෂණ කුළුණ හා රැහැන් මාර්ගයේ අලුත්වැඩියා කටයුතු අවසන් කොට නැගෙනහිර පළාතේ විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කරන ලදී.
    ඊයේ (08) වන විට බිඳ වැටුණු විදුලි බලයෙන් 99%ක් පමණම කුමන හෝ ආකාරයකින් යථාතත්වයට පත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.