February, 20, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු මෙන්ම රටේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති කම්හල වන INSEE සිමෙන්ති, මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ දුම්රිය මාර්ගය සාර්ථකව ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු, අරුවක්කාලු හුණුගල් කැණීම් භූමියේ සිට පුත්තලම නිෂ්පාදනාගාරය දක්වා හුණුගල් දුම්රිය මගින් ප්‍රවාහනය නැවත ආරම්භ කරන බව නිවේදනය කළේය. සුළි කුණාටුව නිසා සිදු වූ බාධාවෙන් පසු සාමාන්‍ය සැපයුම් මෙහෙයුම් යථා තත්ත්වයට පත් කිරීමේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2026 පෙබරවාරි 18 වන දින සිට දුම්රිය මගින් හුණුගල් ප්‍රවාහනය නිල වශයෙන් නැවතආරම්භ කරන ලදී.
රටේ ප්‍රමුඛතම සිමෙන්ති සන්නාමයන් වන INSEE සංස්ථා සිමෙන්ති සහ මහවැලි මැරීන් ප්ලස් සිමෙන්ති සන්නාමයන් ජාතියට හඳුන්වා දුන් INSEE සිමෙන්ති, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සහ යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ප්‍රමුඛතම සිමෙන්ති සමාගමකි.
අරුවක්කාලු හුණුගල් කැණීම් භූමිය සිමෙන්ති නිෂ්පාදනයේ හදවත සේ සැලකෙන ස්ථානයයි. එය පුත්තලම කම්හලේ සිට කිලෝමීටර 40ක පමණ දුරින් පිහිටා ඇත. වසර ගණනාවක් තිස්සේ, පාලවිය දුම්රිය ස්ථානය හරහා සිමෙන්ති ප්‍රවාහනය සඳහා තනි දුම්රිය මාර්ගයක් වෙන් වී තිබූ අතර දෛනිකව මෙම දුම්රිය මාර්ගය ඔස්සේ හුණුගල් ප්‍රවාහන කටයුතු අඛණ්ඩව සිදු කෙරිණි. මෙම විශේෂිත දුම්රිය මාර්ගය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව (CGR) සතු වූවක් වන අතර, හුණුගල් ප්‍රවාහනය සඳහා INSEE වෙත බදු පදනම යටතේ ලබා දී තිබෙන පහසුකමකි. CGR මෙහෙයුම්වලට අමතරව දුම්රිය සැපයුම් පද්ධතියක් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ එකම සමාගම වන්නේ ද INSEE සමාගමයි.
මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දුම්රිය මාර්ගයේ ප්‍රධාන පාලමක් ද ඇතුළුව කිලෝමීටර් 3ක පමණ කොටසකට දැඩි හානි සිදු වූ අතර, දුම්රිය ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නතර විය. බාධාව පැවති සමයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ වෙළඳපොළ සැපයුම සහතික කිරීම සඳහා, සමාගම විසින් තාවකාලිකව සාමාන්‍ය මාර්ග ඔස්සේ හුණුගල් ප්‍රවාහනය සිදු කරනු ලැබීය.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, INSEE සිමෙන්ති සමාගම දුම්රිය මාර්ගයේ හානියට පත් කොටස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.5 ක් ආයෝජනය කළේය. මාස 22ක දැඩි පරිශ්‍රමයකින් සිදු කළ ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසු, පාලම ඇතුළු විනාශ වූ කිලෝමීටර් 3ක කොටස ප්‍රතිසංස්කරණය කර අවසන් කෙරුණු අතර, නැවත ප්‍රවාහන කටයුතු ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු යොදා ඇත.ව්‍යාපෘතිය වේගවත් කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පළපුරුදු නිලධාරීන් සමඟ එක්ව INSEE කණ්ඩායම විසින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණ කරන ලදී.
මෙම සුවිශේෂී කටයුත්ත පිළිබඳව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු තුසිත් ගුණවර්ණසූරිය මහතා මෙසේ පැවසීය. “මෙම තීරණාත්මක දුම්රිය යටිතල පහසුකම කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම තුළින් INSEE සමාගම සතු සවිමත් ඔරොත්තු දීමේ හැකියාවත් මෙන්ම රටේ දියුණුව වෙනුවෙන් දක්වන දිගුකාලීන කැපවීමත් පෙන්නුම් කරනවා. අප විසින් සිදු කළ රුපියල් බිලියන 1.5 ක ආයෝජනය, ඵලදායී රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාවය තුළින් ජාතික යටිතල පහසුකම් ශක්තිමත් කරන අතරම ඉදිකිරීම් අංශයට අඛණ්ඩ සැපයුමක් සහතික කිරීමේ අපගේ වගකීමත් පිළිබිඹු කරන සන්ධිස්ථානයක්.”
මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා සහාය දුන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ (CGR) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහයෝගය සහ හවුල්කාරිත්වය වෙනුවෙන් INSEE සිමෙන්ති සිය අවංක කෘතඥතාව පළ කරන අතර, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා, දිස්ත්‍රික් ලේකම්වරයා සහ පුත්තලම රජයේ නිලධාරීන්, මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) අධ්යක්ෂ, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහාය දුන් අනෙකුත් සියලුම බලධාරීන් සහ කොටස්කරුවන්ට ද සමාගම සිය කෘතඥතාව පළ කරයි.
ශ්‍රී ලංකාව ශක්තියෙන්, ඔරොත්තු දීමේ හැකියාවෙන් සහ වගකීමෙන් යුතුව ගොඩනැගීමට INSEE සිමෙන්ති නිරතුරුවම කැපවී සිටියි.
Video Story