දින 17ක දී සංචාරකයින් 117,480ක් දිවයිනට. සංචාරක ඉපැයීම් 4.9%කින් ඉහළට

    November, 19, 2025

    නොවැම්බර් මාසයේ පළමු දින 17 තුළ දී 117,480ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙනවා දෙන්නනේ එම නව සංචාරක පැමිණීම් දත්ත සමග 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 2,008,167ක් ලෙස වාර්තා වන බවයි.

    ඒ අනුව පසුගිය 17 වන දින මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව විසි ලක්ෂයේ සීමාව ඉක්මවීමට සමත් විය.

    නොවැම්බර් මාසයේ පළමු දින 17 තුළ 28,342ක වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස ඉන්දියාව වාර්තා වී ඇත.

    මීට අමතරව රුසියාවෙන් 14,779 ක්, ජර්මනියෙන් 9,317 ක් සහ එක්සත් රාජධානියෙන් 8,362 ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.

    මේ අතර 2025 වසරේ පලමු මාස 10 තුළ මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,659ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    2025 ඔක්තෝම්බර් මාසයේ දී වාර්තා ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය දැක්වෙනුයේ ඩොලර් මිලියන 186.1ක් ලෙසයි.

    මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ 2024 මුල් මාස 10හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 2,533.7 හා සැසඳීමේ දී මෙය 4.9%ක වර්ධනයක් බවයි.